කාන්තාව ව්‍යාපාරයට හවුල් කරගෙන අමානුෂික ලෙස පහරදී ගෙල පාගා මරාදාලා

අමානුෂික ලෙස ඝාතනය කර පාළු ළිඳකට දමා තිබූ කාන්තාවකගේ මළ සිරුරක් පෙරේදා(24) පස්වරුවේ වැලිමඩ පොලිසිය විසින් සොයා ගෙන ඇත.
ඝාතනයට සැකපිට වයස අවුරුදු 35ක පුද්ගලයෙක්ද වැලිමඩ පොලිසිය විසින් අත්ඩඅංගුවට ගෙන තිබේ.
මෙසේ අමානුෂික ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කැප්පෙටිපොල පුරංවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54ක දෙදරු කාන්තාවකි.
මෙම කාන්තාව සහ අත්අඩංගුවට පත් පිරිමි පුද්ගලයා වැලිමඩ නගරයේ ආපන ශාලාවක සේවය කර ඇති අතර එහිදී ඇති වු හිතවත්කම මත දෙදෙනා ඉන් ඉවත්ව වැලිමඩ සාප්පු කඩේ ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක් කුලියට ගෙන එහි පසුගිය දිනෙක ආපන ශාලාවක් ආරම්භ කර තිබේ.
ඒ සඳහා දෙදෙනාම මුදල් යොදවා ඇති බවටත් මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය කර ගෙන ඇති අතර පිරිමි පුද්ගලයා තලවකැලේ ප්‍රදේශයේ පදිංචි දෙදරු පියකු බව පොලිසිය කරුණු අනාවරණය කරගෙන තිබේ.
ඉකුත් 22 වන දින මෙම කාන්තාව අතුරුදන්ව ඇති බව මෙම සැකකාර පුද්ගලයා විසින් එම කාන්තාවගේ වැඩිමහල් දියණියට දන්වා ඇති අතර ඉන්පසු මේ පිළිබඳව දියණිය විසින් වැලිමඩ පොලිසියට තම මව අතුරුදන්ව ඇති බවට පැමිණිලි කර තිබේ.
වහා ක්‍රියාත්මක වූ වැලිමඩ පොලිසියේ නිලධාරින් අදාළ ආපන ශාලාවේ සිටි සැකකාර පිරිමි පුද්ගලයාගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කිරීමේදී ලැබුණු පරස්පර ප්‍රකාශ නිසා සැක සිතු පොලිසිය ආපන ශාලාව අවට ප්‍රදේශ දැඩි ලෙස පරීක්ෂාවකට ලක් කර ඇත.
එහිදී ආපන ශාලාවට මඳ දුරකින් පිහිටි ඉඩමක පිහිටි පාළු ළිඳකට රෙදිවලින් ඔතා දමා තිබු අදාළ කාන්තාවගේ මළ සිරුර සොයා ගැනීමට හැකිව තිබේ.
අදාළ කාන්තාව සමග ඇති වු බහින්බස්වීමකදී තමන් විසින් කාන්තාවට පහරදී ඇගේ ගෙල පාගා මරා දැමූ බව පවසා තිබේ.
ඉන්පසු මළ සිරුර ආපන ශාලාවේ පෝරණුවේ දිනක් තබා ගෙන සිට කාටවත් නොපෙනෙන සේ රැගෙන ගොස් මෙලෙස ළිඳට දමා තම මව අතුරුදන් බවට ඇගේ දියණියට පැවසු බවත් පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ සැකකරු අනාවරණය කර තිබේ.
සිද්ධිය සම්බන්ධව වැලිමඩ මහෙස්ත්‍රාත් පී. ජයසේකර මහතා විසින් ස්ථානීය පරීක්ෂණය සිදු කිරීමෙන් පසු ළිඳේ තිබූ මෘත දේහය ගොඩ ගැනීම සිදු කෙරිණි.
කාන්තාවගේ මළ සිරුර දියණියන් විසින් හඳුනා ගනු ලැබිණි.
අත්අඩංගුවට ගත් සැකකාර පිරිමි පුද්ගලයා වැලිමඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
299 Views
Comments