ජනපතිට යාපනය අධිකරණය නිකුත්කළ සිතාසිය අභියාචනාධිකරණය බලරහිත කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
24

ජනපතිට යාපනය අධිකරණය නිකුත්කළ සිතාසිය අභියාචනාධිකරණය බලරහිත කරයි

ජනපතිට යාපනය අධිකරණය නිකුත්කළ සිතාසිය අභියාචනාධිකරණය බලරහිත කරයි

2011 වසරේ පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන ලලිත් වීරරාජ් හා කූගන් මුරුගානන්දන් යන අයගේ නඩු විභාගයකට අදාළව සාක්ෂිදීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිකුත් කර තිබෙන සිතාසිය බලරහිත කරමින් අභියාචනාධිකරණය අද (24) රිට් ආඥාවක් නිකුත් කළේය.

 

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කරන ලදි.

 

ලලිත් සහ කුගන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින හබයාස් කෝපුස් නඩු විභාගය සඳහා සාක්ෂි දීමට ඉකුත් වසරේ සැප්තැම්බර් මස 27 වනදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස දන්වමින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය මගින් හිටපු ආරක්ෂක ලේකම් වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නොතීසියක් නිකුත් කර තිබුණි.

 

ආරක්ෂක හේතූන් මත තමාට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනීසිටීමට අපහසු බව දන්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය එම සිතාසිය මත යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනීසිටීම වළක්වාලමින් තහනම් නියෝගයක් ද නිකුත් කර තිබුණි.

 

එම පෙත්සමට අදාළ ව අද (24) තීන්දුව ප්‍රකාශයට පත්කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නවාස් මහතා මහෙස්ත්‍රාත් අධිකරණයක් මගින් යම් පුද්ගලයකු වෙත සිතාසියක් නිකුත් කළ හැක්කේ යම්කිසි නිශ්චිත කරුණක් සඳහා පමණක් බව පැවසීය.

 

එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මෙම සිතාසිය නිකුත්කර තිබෙන්නේ නීතිඥවරයෙකු ඉදිරිපත් කළ මෝසමකට අනුව යැයි පෙන්වාදුන් සභාපති විනිසුරු නවාස් මහතා ඒ තුළ කිසිදු නීතිමය පදනමක් දක්නට නොලැබෙන බව සඳහන් කළේය.

 

ඒ අනුව අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස දන්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත්කර ඇති සිතාසිය නීතියට පටහැනි මෙන්ම බලරහිත ලියවිල්ලක් බව සභාපති විනිසුරුවරයා සඳහන් කළේය.

 

ඒ අනුව එම සිතාසිය බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කරන බව ද විනිසුරු මඩුල්ල සඳහන් කළේය.

 

 

 

views

670 Views

Comments

arrow-up