කට්ටඩියාගේ ඝාතනයට හේතුව අනියම් සබඳතාවක් - අනියම් බිරිඳ ඇතුළු තිදෙනෙක් දැලේ

පොලිස් නිලධාරීන් යැයි පවසමින් හංවැල්ල, ඇඹුල්ගම නිවසකට ගොස් එහි සිටි කට්ටඩියකුගේ දෙඅත් පිටුපසට තබා දම්වැලකින් ගැටගසා ඉබි යතුරු දමා පැහැරගෙන ගොස් ඝාතනයකොට කැලණි ගඟට දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ‍්‍රාමික නාවික සෙබළෙකු ඇතුළු තිදෙනකු ඊයේ(28) අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පැහැරගන්නා අවස්ථාවේදී කට්ටඩියා සමඟ ඇඹුල්ගම නිවසේ සිටි අනියම් බිරිඳ සහ සැකකාර විශ‍්‍රාමික නාවික සෙබළාගේ ඥාති සහෝදරයෙක් බව පොලිසිය කියයි.
පැහැර ගැනීම සඳහා යොදාගත් බව කියන යතුරුපැදිය, හිසට පහරදීමට යොදාගත් කුලූගෙඩිය මෙන්ම දෑත් පිටුපසට කර බැඳ දමා තිබූ දම්වැල සහ ඉබි යතුරුද පොලිස් භාරයට ගෙන තිබේ.
නුගේගොඩ කොට්ඨාශ බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර ඝාතනයට ලක්වූ හල්දුම්මුල්ල ප‍්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු වන ගාමිණී හෙට්ටිආරච්චි 54 නැමැත්තා මීට වසරකට පමණ ඉහතදී අනියම් බිරිඳ සමඟ හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ නිවසට පැමිණ පදිංචිව සිට ඇති බව පොලිසිය පැවසීය.
එම කාන්තාව ඇඹුල්ගම පිහිටි බිම් ඇතුරුම් ගල් නිෂ්පාදන ආයතනයක සේවය සඳහා ගොස් ඇති අතර මීට මාස 6කට පමණ ඉහතදී එම ආයතනය වෙත හෝමාගම සිට සිමෙන්ති රැගෙන පැමිණි ලොරියේ රියැදුරු ලෙස කටයුතු කල විශ‍්‍රාමික නාවික සෙබළා හා අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් තිබුණු බව මූලික විමර්ශනවලදී හෙළිවී තිබේ.
ඔවුන් දෙදෙනාගේ ඇසුරට ඝාතනයට ලක්වූ පුද්ගලයා දැඩි බාධාවක්ව පැවති බැවින් ඔහු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට සැලසුම් කර ඒ සඳහා ඥාති සහෝදරයා ද සහභාගි කරගෙන තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඝාතනයට යොදා ගැනුණු කුලූගෙඩිය සහ දම්වැල ප‍්‍රධාන සැකකරු සේවය කරන ලොරි රථයේ තිබී හමුවී ඇති අතර ඉබි යතුරු රනාල ප‍්‍රදේශයේ වෙළෙඳසැලකින් මිලදී ගෙන තිබූ බව සැකකරුවන්ගෙන් වැඩිදුර ප‍්‍රශ්නකිරීම් වලදී අනාවරණය වූ බව පොලිසිය පැවසීය.
ඉකුත් 23 වැනි දින රාත‍්‍රියේදී ආරක්ෂක වැසුම් පැළඳ යතුරුපැදියකින් එම නිවසට පැමිණි සැකකරුවන් දෙදෙනා කට්ටඩියා අමතා
“අපි පොලිසියේ, අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්, තමුන්ට විරුද්ධව චෝදනා රැසක් තියෙනවා.අපි සමඟ එනවා යන්න.”
යැයි පවසා ඔහුගේ දෙඅත් ඉදිරිපසට ගෙන දම්වැල් දමා අනතුරුව ඉබි යතුරු ද දමා හැඳ සිටි සරම පිටින්ම නවතා තිබූ යතුරුපැදිය අසලට රැගෙන ගොස් එහි නංවාගෙන ගෙන ගොස් තිබූ බව පොලිසිය පැවසීය.
ඉන් අනතුරුව කඩුවෙල පාරේ විශාල පොල්වත්තකට රැගෙන ගොස් යතුරුපැදියේ සඟවාගෙන තිබූ කුළුගෙඩියෙන් ඔහුගේ හිසට පහරවල් කිහිපයක් එල්ල කර පොල්වත්ත මායිමේම තිබෙන කැලණි ගඟට සිරුර විසිකර ඔවුන් දෙදෙනා එම ස්ථානයෙන් පලාගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් ප‍්‍රධාන සැකකරු ලෙස හඳුනාගත් විශ‍්‍රාමික නාවික සෙබළා රඹුක්කන ප‍්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයකු වන අතර අනෙක් සැකකරු හෝමාගම පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක් බව පොලිසිය පැවසීය.
සැකකරුවන් කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
21208 Views
Comments