“හිතුමතේ ජීවිතේ” ජීවිතය හැරයයි - දේහය භාර ගන්න කවුරුත් නෑ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
16

“හිතුමතේ ජීවිතේ” ජීවිතය හැරයයි - දේහය භාර ගන්න කවුරුත් නෑ

“හිතුමතේ ජීවිතේ” ජීවිතය හැරයයි - දේහය භාර ගන්න කවුරුත් නෑ

හිතුමතේ ජීවිතේ නමින් ප්‍රසිද්ධව සිටි බටුගහගේ දොන් සුමතිපාල මහතාපසුගිය 13 වන දින ජීවිතක්ෂයට පත් වී තිබෙන අතර දේහය මේ වන විට කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇතැයි වාර්තාවේ. දේහය භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත්ව නැති බවද වාර්තා වෙයි.

 

වසර 43 මාස 08 ක පමණ දීර්ඝ කාලයක්  බන්ධනාගාර ගතව සිට  “හිතුමතේ ජීවිතේ ” නමින් පපුවේ පච්චයක් කොටාගෙන සිටි මොහුට ඉකුත් 2018 වසරේදී ජනාධිපති සමාව යටතේ නිදහස ලැබී තිබූ අතර පසුව ඔහු කුලියාපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයකද පසුව තවත් ස්ථාන කිහිපයකද වාසය කළ බවට විවිධ වාර්තා පළ විය.

 

තම එකම නැගණිය දූෂණය කොට මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙකු මරා දමා පසුව තවත් පස් දෙනෙකු හිරෙන් පැන ගොස් අවස්ථා කිහිපයකදී ඝාතනය කළ බවට ඔහු නිදහස ලද පසුව සිදු කළ හෙළිදරව්ව මහත් ආන්දෝලනයක් ඇති කළේය. මේ වනවිට එම කතාව ඔස්සේ ප්‍රබන්ධ නවකතා මෙන්ම චිත්‍රපටද බිහිව තිබේ.

 

කෙසේ වෙතත් පසුකාලීනව ඔහුගේ මියගියායයි කියන නැගණිය තමා ජීවතුන් අතර සිටින බවත් කිසිදු දූෂණ සිද්ධියක් සිදු නොවූ බවත් මේ සියලු කතා ගොතන ලද ‘ව්‍යාජ වීරයෙකුගේ කතාවක්‘ බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙළි කළඅතර එම හෙළිදරව්වෙන් පසු ‘හිතුමතේ ජීවිතේ‘ ලෙස පෙනී සිටි සුමතිපාල මාධ්‍ය මග හැරියේය.

 

ඊට පිළිතුරක් පවා ලබාදුන්නේ නැත.කිසියම් මිනීමැරුමක් නිසා දීර්ඝකාලීන සිරදඩුවමක් විඳි ඔහු තම වරද වසා ගැනීමට නිර්මාණාත්මකව වීරයෙකු ලෙස පෙනීසිටි බව ඔහුගේ නැගණියගේ චෝදනාව විය.ඔහු සිරෙන් පැනගිය බවට පළවූ කතා ව්‍යාජ ඒවා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන්ද නිවේදනයක් නිකුත් විය. ඔහුමේ කතා ගොතන්නට  පූර්ව ආදර්ශයට ගත්තේ සිරගෙදර සිටි ‘යකඩයා‘ බවටද මත පළ විය.



ඔහුගේ ප්‍රබන්ධ කතාවට ඉඩහසර වෙන් කළ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පවා හෙළිදරව්ව සිදුවූ අවස්ථාවේ මුණිවත රැක සිටි අතර සමාජ ගත කළ ප්‍රබන්ධය නිවැරදි කළේ නැත.
“හිතුමතේ ජීවිතේ ”ගේ මරණය සිදුවන්නේ ඔහු ලෝකයෙන් හුදෙකලාව ජීවත්වෙමින් සිටි වකවානුවේය.

views

247 Views

Comments

arrow-up