වැවිලි පෝර මිල ලොකු ගානකින් පහලට

කුරුඳු, තේ හා පොල් යන වැවිලි බෝග සඳහා භාවිත කරන පොහොර වර්ග පහක මිල අද (17) සිට රුපියල් 1500 - 2000 අතර මිල ගණන් වලින් අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය.
කුරුඳු, තේ හා පොල් යන වැවිලි බෝග වලට යොදන පොහොර මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා රාජ්‍ය පොහොර සමාගමට දුන් උපදෙස් අනුව මෙම පියවර ගෙන ඇත.
ඒ අනුව රුපියල් 9000ක් ලෙස පැවති APM පොහොර කිලෝ පනහක බෑගය රුපියල් 7200 දක්වා ද, රුපියල් 8000ක් වූ YPM පොහොර කිලෝ 50ක බෑගය රුපියල් 6200 දක්වාද ,රුපියල් 9750 කට අලෙවි කෙරුණු කුරුඳු යූරියා කිලෝ පනහක බෑගය රුපියල් 7950 දක්වා ද අඩු කෙරෙනු ඇත. එමෙන්ම රුපියල් 8000කට අලෙවි කෙරුණු කුරුඳු (SA) කිලෝ 50 බෑගය රුපියල් 6200 කට සහ රුපියල් 11000 කට අලෙවි වූ TDM පොහොර කිලෝ 50ක බෑගය රුපියල් 9200 ක් දක්වා අඩු කෙරෙන බව රාජ්‍ය පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පැවසීය.
මීට අමතරව රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන සෑම පොහෙර වර්ගයකම මිල මෙට්‍රික් ටොන් 1ක් රුපියල් 5000කින් අඩු කිරීමට ද තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
කුරුඳු, තේ සහ පොල් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා පොහොර භාවිතය ඉහල නැංවීමේ අරමුණින් මෙම පියවර ගත් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.
පොහොර මිල අඩු කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එම්.එච්.එල් අබේරත්න යන මහත්වරු ද සහභාගී වූහ.
217 Views
Comments