කුඹුරේ වතුර හුටපටය දුරදිග ගොස් බෑණාගේ උදලු‍ පහරින් නැන්දා එතැනම මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
05

කුඹුරේ වතුර හුටපටය දුරදිග ගොස් බෑණාගේ උදලු‍ පහරින් නැන්දා එතැනම මරුට

කුඹුරේ වතුර හුටපටය දුරදිග ගොස් බෑණාගේ උදලු‍ පහරින් නැන්දා එතැනම මරුට

කහටගස්දිගිලිය, ඊතලවැටුණුවැව ප්‍රදේශයේ වී වගාකළ කුඹුරකට ජලය සපයමින් සිටියදී පිරිමි පුද්ගලයකු සහ කාන්තාවක අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් පිරිමි පුද්ගලයා විසින් එම කාන්තාවට උදැල්ලකින් පහරදී ඇති අතර මේ හේතුවෙන් කාන්තාව එම ස්ථානයේම මියගොස් ඇති බව කහටගස්දිගිලිය පොලිසිය කියයි.

 

මෙලෙස මියගොස් ඇත්තේ ජමාල්දීන් රහුමා උම්මා නමැති ඊතලවැටුණුවැව, මහපොතාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50ක කාන්තාවකි.

 

පෙරේදා (03 දා) සවස 6 ට පමණ මෙම සැකකරු කුඹුරට ජලය සපයමින් සිට ඇති අතර එම ස්ථානයට පැමිණි යාබද කුඹුරු හිමි කාන්තාවක් සමග වතුර හැරවීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇති බව පවසමින් බහින්බස් වී ඇත.

 

එහිදී මියගිය කාන්තාවගේ ඔලුවේ පිටුපසට මෙම සැකකරු උදැල්ලෙන් පහරදී ඇත. අනතුරුව කාන්තාව එම ස්ථානයේම ඇද වැටී මිය ගොස් ඇත. සිද්ධියෙන් පසු එම ඝාතනය සිදුකළ තැනැත්තා කහටගස්දිගිලිය පොලිසියට පැමිණ තමා අතින් සිදු වූ වරද පිළිබඳව පාපොච්චාරණය කර ඇත.

 

අනතුරුව කහටගස්දිගිලිය පොලිසිය විසින් එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

 

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු මියගිය කාන්තාවගේ සහෝදරයාගේ දියණියගේ ස්වාමිපුරුෂයා වන මොහොමඩ් ඉල්ලියාස් මොහොමඩ් සදාත් නමැති ඊතලවැටුණුවැව මහපොතාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 ක පුද්ගලයෙකි.

 

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (04 දා) කහටගස්දිගිලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කහටගස්දිගිලිය පොලිසිය සිදු කරයි.

views

238 Views

Comments

arrow-up