පාතාල තර්ජන නිසා බූස්ස බන්ධනාගාර අධිකාරිට විශේෂ ආරක්ෂාවක්

ගාල්ල බූස්ස බන්ධනාගාරයේ අධිකාරිවරයාට පාතාල සන්නද්ධ කල්ලිවලින් එල්ලවී ඇති තර්ජන හමුවේ විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කර ඇත.
ඒ අනුව බූස්ස බන්ධනාගාරයේ අධිකාරිවරයාගේ මවුපියන් පදිංචි කටුනායක නිවසට මෙන්ම ඒ මහතාට ද මෙම ආරක්ෂාව දිගටම ලබාදීමට පියවර ගෙන තිබේ.
බූස්ස බන්ධනාගාරය තුළ රඳවා සිටින මෙරට පාතාලයේ මෙන්ම මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන පෙළේ අපරාධකාරයන් දිගින් දිගටම ජංගම දුරකථන භාවිතා කරන බවට ලැබුණු තොරතුරු මත එහි අධිකාරිවරයා පොලිස් විශේෂ කාර්ය බළකායේ ද සහාය ලබාගෙන ඒවා වැටලීමේ මෙහෙයුම් පසුගිය දිනවල ක්‍රියාත්මක කර තිබිණි.
එහිදී ස්මාට් වර්ගයේ ජංගම දුරකථන හයක් බූස්ස බන්ධනාගාරයේ දරුණු අපරාධකරුවන් සතුව තිබී සොයාගැනීමට හැකි විය.
එම වැටලීම්වලින් පසු බූස්ස බන්ධනාගාරයේ අධිකාරිවරයාගේ මවුපියන් පදිංචි කටුනායක පිහිටි නිවස වෙත පාතාල සාමාජිකයන් දෙදෙනකු යතුරුපැදියකින් පැමිණ ඇත.
ඩුබායි හි සිටින හීනටියන සංඛ නමැති පාතාල ප්‍රබලයා කතාකරන බව කියමින් එම පාතාල සාමාජිකයා ජංගම දුරකථනයක් බන්ධනාගාර අධිකාරිවරයාගේ පියාට ලබාදී තිබේ.
ඇමතුම ගත් හීනටියන සංඛ නැමැත්තා පවසා ඇත්තේ, “උඹගෙ පුතා දඟලනවා වැඩියි, එයාට පරිස්සම් වෙලා ඉන්න කියපං. බූස්සෙ ටෙලිෆෝන් අල්ලන මෙහෙයුම් නතර කරන්න කියපන්” යනුවෙන් තර්ජනය කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බූස්ස බන්ධනාගාරයේ අධිකාරිවරයා පොලිසිය වෙත පැමිණිල්ලක් ද කර තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා කියා සිටියේ, බූස්ස බන්ධනාගාරයේ අධිකාරිවරයාගේ ආරක්ෂාව වැඩිකර ඇති බවත් ඔහුට එරෙහිව එල්ලවී තිබෙන පාතාල තර්ජන සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යන බවත් ය.
220 Views
Comments