පාර මැද හෑරුණ වළේ වගකීම භාරගන්න බලධාරීන් බෑ කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
20

පාර මැද හෑරුණ වළේ වගකීම භාරගන්න බලධාරීන් බෑ කියයි

පාර මැද හෑරුණ වළේ වගකීම භාරගන්න බලධාරීන් බෑ කියයි

පියා සමග පාසල් යමින් සිටි සිසුවියක් IDH මංසන්ධියේ ප්‍රධාන මාර්ගය මැද තිබූ ගැඹුරු වළකට වැටී තිබුණි.

 

ජලයෙන් පිරී තිබූ එම වළට වැටුණු ඔවුන්ව බේරාගනු ලැබුවේ අවට සිටි පිරිස් විසිනි.

 

අනතුර සිදුවූ එම ස්ථානය පසුගියදා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ව්‍යාපෘතියක් සිදුකළ ස්ථානයකි.

 

එම වළ සැදී තිබුණේ ඊට අයත් නලයක් අද අලුයම් කාලයේ පුපුරායාමෙනි.  

 

ඒ අඹතලේ ජල පවිත්‍රාගාරයෙන් පෝට් සිටි ප්‍රදේශයට ජලය සපයන ප්‍රධාන නලයකි.

 

මීට මාසයකට පමණ ඉහතදී එම ව්‍යාපෘතිය සිදුකර තිබුණේ, පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමක් විසිනි. 

 

පියා සහ දියණිය අද උදෑසන අනතුරට ලක්වීමට පෙර ලොරි රථයක්ද එම ස්ථානයේදී වළට වැටී ඇති අතර එය ගොඩට ගෙන තිබුණේ පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීමෙනි.

 

කෙසේ වෙතත් අද උදෑසන වනතුරුම එම අනතුරුදායක ස්ථානය සම්බන්ධයෙන් කිසිදු නිලධාරියෙකු පියවරක් ගෙන නොතිබුණි.

 

එම වළට සිසුවිය සහ පියා වැටී තිබුණේ ද එම ස්ථානයට ආරක්ෂාවක් සපයා නොතිබූ පසුබිමකය.

 

සිද්ධිය සම්බන්ධයෙන් අප ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් විමසීමක් කළේය.

 

එම මණ්ඩලය පවසන්නේ, මෙම ව්‍යාපෘතිය සිදුකරන ලද්දේ පෞද්ගලික සමාගමක් විසින් බවත් ඊට තම ආයතනය සම්බන්ධ නොවන බවත්ය. 

 

ව්‍යාපෘතිය සිදුකළ පෞද්ගලික කොන්ත්‍රාත්කරුගෙන් අප කළ විමසීමදී ඔහු සඳහන් කළේ සිය නඩත්තු කටයුතු මීට මාසයකට පෙර අවසන් කළ බවය.

 

වර්ෂාව සහ ජල නලයේ පීඩනය නිසා මාර්ගය සැකසීමට යොදාගත් අමුද්‍රව්‍ය දියවී වළ තවත් ගැඹුරු වී ඇති බවත් ඔහු සඳහන් කරයි.

 

තමා අදාළ ව්‍යාපෘතිය මීට මාසයකට පෙර අවසන් කළ බවට කොන්ත්‍රාත්කරු පවසද්දී ඊට තම ආයතනය සම්බන්ධ නැති බවට ජාතික ජලසම්පාදන හා ජලාපවාහනය මණ්ඩලය පවසන්නේ නම් මෙම සිද්ධියට වගකිව යුත්තේ කවුරුන් ද? යන්න ජනතාව හමුවේ ඇති ප්‍රශ්නයයි.

views

233 Views

Comments

arrow-up