බඹර ප්‍රහාරයකින් පාසල් සිසුවෙක් ජීවිතක්‍ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
29

බඹර ප්‍රහාරයකින් පාසල් සිසුවෙක් ජීවිතක්‍ෂයට

බඹර ප්‍රහාරයකින් පාසල් සිසුවෙක් ජීවිතක්‍ෂයට

එකම පවුලේ සිව්දෙනෙකු ඇතුළු අටදෙනෙකු බඹර ප්‍රහාරයකට ලක්ව ඉන් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගම්පොළ, පුස්සැල්ලාව පොලීසිය පවසයි.

 

මෙසේ මිය ගොස් ඇත්තේ පුස්සැල්ලාව බ්ලැක්ෆොරස් වත්තේ පදිංචිව සිටි සස්මිදන් තීරුචෙල්වම් නැමති පාසල් දරුවෙකි.

 

ඔහු පුස්සැල්ලාව හින්දු විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ තුන වසර ඉගෙනුම ලැබීය.

 

දරුවාගේ මව, පියා, සහෝදරයා ඇතුළු අට දෙනෙකු බඹර ප්‍රහාරයට ලක්ව ඉන් හය දෙනකු ගම්පොළ හා වහුගපිටිය රෝහල්වලට ඇතුළත් කොට තිබුණි.

 

සස්මිදන්ගේ සහෝදරයා වන දස්මිදන් සමඟ පාසල නිම වී සිය පියා සමඟ මොවුන් නිවස කරා එමින් සිට ඇත.

 

ගම්පොළ - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ මොවුන්ගේ නිවස අසල ඇති විශාල මාර ගසක බඹර වද හයක් පමණ බැඳ ඇති අතර ඉන් එක් කූඩුවක මැස්සන් ඇවිස්සි මෙම ප්‍රහාර එල්ල වී තිබේ.

 

මොවුන්ගේ නිවස අසලදී සිදු වූ මෙම ප්‍රහාරය සමඟ කෑගැසමින් මොවුන් තිදෙනා දිව යන විට එම කෑ ගැසීම බැලීමට ඔවුන්ගේ මව පැමිණ ඇති අතර ඇයට හා ඇගේ ඥාතීන්ටද බඹරුන් දිගටම ප්‍රහාර එල්ල වී ඇත.

 

පසුව අසල්වාසීන් එක්ව ගිනි අවුළුවා බඹරුන් පළවා හැර මොවුන් සියලුදෙනා රෝහල් ගත කළ ද මෙම සිසුවා රෝහලේදී මිය ගොස් තිබේ.

 

සිද්ධිය නිරීක්ෂණය සඳහා ගම්පොළ රෝහල් හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක මහතා එම ස්ථානයට පැමිණි අතර සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා සිරුර පේරාදෙණිය රෝහල වෙත යවා ඇත.

 

සිද්ධිය සම්බන්ධයෙන් පුස්සැල්ලාව පොලීසිය පරීක්ෂණ පවත්වයි.

views

151 Views

Comments

arrow-up