21වන සියවසේ ලෝක දේශපාලන උඩු යටිකුරු කල සැප්තැම්බර් 11 ප්‍රහාරයට විසි වසරයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
11

21වන සියවසේ ලෝක දේශපාලන උඩු යටිකුරු කල සැප්තැම්බර් 11 ප්‍රහාරයට විසි වසරයි

21වන සියවසේ ලෝක දේශපාලන උඩු යටිකුරු කල සැප්තැම්බර් 11 ප්‍රහාරයට විසි වසරයි

2001 වසරේ සැප්තැම්බරයේ 11 වැනිදා, අඟහරුවාදාවකි. මරාගෙන මැරෙන ප්‍රහාරකයෝ එක්සත් ජනපදයේ මගී ප්‍රවාහන ජෙට් යානා තම ග්‍රහණයට ගෙන නිව්යෝර්ක් නුවර උසැති ගොඩනැගිලි දෙකක ගැටෙන්නට සැලැස්වූහ. දහස් ගණනකට ජීවිත අහිමි විය.

 

ඇමරිකාවේ පමණක් නොව මුළු ලොවටම බලපෑ, ශතවර්ෂය තුළ සිදුවූ දරුණුතම සිද්ධියක් ලෙස එය තවමත් වර්තාගතය.

 

එක්සත් ජනපදයේ නැගෙනහිර අහසේ පියාසර කෙරෙමින් තිබූ ගුවන් යානා හතරක් එකවර පැහැරගැනීමට ලක්විය. ඒ සඳහා ක්‍රියාත්මක වූයේ කුඩා කණ්ඩායමකි.

 

නිව්යෝර්ක් සහ වොෂින්ටන් නුවර පිහිටි සුප්‍රසිද්ධ ගොඩනැගිලිවලට පහර දීම සඳහා මෙම යානා දැවැන්ත මිසයිලයන් ලෙස යොදා ගන්නා ලදී.

 

නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳපොල, ද්විත්ව ගොඩනැගිල්ලට ගුවන් යානා දෙකක් ගැටීමට සැලැස්වුණි.

 

පළමු යානය ගැටුණේ උතුරුදිග කුළුණට ය. ඒ උදෑසන 08;46ට ය. (ග්‍රිනිච් වේලාවෙන් 13:46)

 

දෙවන යානය දකුණුදිග කුළුණෙහි ගැටුණේ උදෑසන 09:03ට ය.

 

ගොඩනැගිල්ලට ගිනි ඇවිලිණි. ඉහළ මහල් තුළ සිටි මිනිසුන් කොටු විය. නගරය දුමෙන් වැසුණි. දෙපැයක් ගතවන්නට පෙර මහල් 110කින් සමන්විත ද්විත්ව ගොඩනැගිල්ල බිමට සමතලා වූයේ දැවැන්ත දූලි වලා ඇතිකරමිනි.

 

උදෑසන 09:37ට තවත් ගුවන් යානයකින් පෙන්ටගනයේ බටහිර මුහුණත විනාශ කෙරුණි. එක්සත් ජනපදයේ හමුදා මුලස්ථානය වූ මෙම දැවැන්ත ගොඩනැගිල්ල පිහිටියේ වොෂින්ටන් අගනුවරට නුදුරිනි.

 

පැහැර ගැනීමට ලක්වූ හතරවැනි යානයේ සිටි මගීන් පැහැර ගත්තවුන්ට එරෙහිව යානය තුළදී ම සටන් වැදුනි. එහි ප්‍රතිඵලයක් වශයෙන් එම යානය පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පිට්ටනියකට කඩා වැටුණි. එම යානය වොෂින්ටන් නුවර කැපිටල් ගොඩනැගිල්ලේ ගැටීමට සැලැස්වීම පැහැරගත්තවුන් ගේ අරමුණ වී තිබුණු බවට විශ්වාස කෙරේ.

 


පුද්ගලයින් 2,977 දෙනෙකු (ප්‍රහාරකයන් 19 දෙනා හැර) ජීවිතක්ෂයට පත් විය. ඉන් වැඩි පිරිස මරණයට පත්වී තිබුණේ නිව්යෝර්ක් නුවර දී ය.


අල් ඛයීඩා නමැති අන්තවාදී ඉස්ලාමීය ජාලය, ඇෆ්ගනිස්ථානයේ සිට මෙම ප්‍රහාරය සැලසුම් කළේය.

 

මුස්ලිම් ලෝකයේ පවතින ගැටුම් වලට එක්සත් ජනපදය සහ එහි මිත්‍ර පාර්ශව වගකිව යුතු බවට ඔසාමා බින් ලාඩන්ගේ නායකත්වයෙන් යුක්ත වූ අල් ඛයීඩා සංවිධානය චෝදනා කළේය.

 

ගුවන් යානා පැහැර ගැනීම සඳහා 19 දෙනෙකු ක්‍රියාත්මක වී තිබුණි. ඔවුහු කණ්ඩායම් හතරකට බෙදී කටයුතු කළහ. ඒ, පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් තුනක් සහ හතර දෙනෙකුගෙන් යුත් එක් කණ්ඩායමක් ලෙසිනි. පෙන්සිල්වේනියාවට කඩා වැටුණු යානය පැහැර ගන්නා ලද්දේ හතර දෙනාගෙන් යුත් කණ්ඩායම විසිනි.

 

ගුවන් නියමුවෙකු ලෙස පුහුණුව ලත් පුද්ගලයෙකු සෑම කණ්ඩායමකට ම ඇතුළත් කොට තිබුණි. ඔවුන් පුහුණුව ලබා තිබුනේ ද එක්සත් ජනපදයේ වූ ගුවන් යානා පියාසර පුහුණු පාසලකිනි.

 

ප්‍රහාරකයන් 15 දෙනෙක් සෞදි ජාතිකයෝ වුහ. බින් ලාඩන් ද උපන්නේ සෞදි අරාබියේ ය. ප්‍රහාරකයන් දෙදෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුරවැසියන් විය. ඉතිරි දෙදෙනාගෙන් එක් අයෙකු ඊජිප්තු ජාතිකයෙකු වූ අතර අනෙකා ලෙබනන් ජාතිකයෙකි.

views

663 Views

Comments

arrow-up