කාන්තාවක් මෙහෙයවන ඔන්ලයින් හාල් කොල්ල කල්ලියක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
16

කාන්තාවක් මෙහෙයවන ඔන්ලයින් හාල් කොල්ල කල්ලියක්

කාන්තාවක් මෙහෙයවන ඔන්ලයින් හාල් කොල්ල කල්ලියක්

ඔන්ලයින් ක්‍රමයට සහල් තොග ඇණවුම් කොට ඒවා අතරමගදී වෙනත් ලොරි වලට පටවා ගෝල බාලයන් යොදාගෙන සිදුකරන කොල්ලයක් මගින් එම සහල් වෙළෙඳසැල් වලට අලෙවි කරමින් මුදල් උපයා ගත් කාන්තාවක් කොටුකර ගැනීමට යක්කල පොලිසිය පුළුල් පරීක්ෂණයක් අරඹා තිබෙනවා.

 

මෙම කාන්තාව නොයෙකුත් තැන්වලින් කුලී පදනම මත නිවාස ලබා ගෙන ඒවායේ රැඳී සිටිමින් දුරකථන උපයෝගී කරගෙන ඔන්ලයින් ක්‍රමයට විශාල සහල් තොග ඇනවුම් කර මුදල් උපයා ගෙන තිබෙන බවටයි වාර්ථාවන්නේ.

 

කඩුවෙල, බියගම හා ගම්පහ ප්‍රදේශයේ ඇය පදිංචිව සිටි කුලී නිවාස 03ක් පොලීසිය විසින් සෝදිසියට ලක් කළද ඇය එම නිවාසවලින් අතුරුදන්ව ඇතැයි යක්කල පොලිසිය සඳහන් කළා. ෆේස්බුක් හා අන්තර්ජාලය ඔස්සේ හා ඔන්ලයින් ක්‍රමයට සහල් තොග විකිනීමේ යෙදෙන ස්ථානවලට කතා කොට මාර්ගගත ක්‍රමය හරහා මෙම කාන්තාව විසින් විශාල ලෙස හාල් තොග ඇනවුම් කර තිබෙනවා.

 

එසේ කරන්නේ සහල් තොග ලැබුණු සැණින් ඊට අදාළ මුදල් සහල් තොග හිමිකරුගේ හෝ ආයතනයේ ගිණුමට බැර කරන පොරොන්දුව මතයි. මෙසේ හාල් තොග ඇණවුම් කොට ඒවා කිසියම් නගරයකට ගෙන එන ලෙස ඇය සහල් තොග විකිණීමේ යෙදෙන්නන්ට පවසා තිබෙනවා. පසුව ඇය අතරමඟදී සහල් තොගය රැගෙන එන ලොරිය, තමා රැඳී සිටින ප්‍රදේශයේ ගංවතුර බැවින් එය ගොඩ බා ගත නොහැකි බව පවසා ඇය විසින් තවත් ලොරියක් සහ සහල්ලොරිය එන මාර්ගයේ වෙනත් ස්ථානයකට යවන බවයි වාර්තා වන්නේ.

 

එම ලොරියද ඇනවුම් කරන්නේ ඔන්ලයින් ක්‍රමයට බවයි පොලිසිය මේ වන විට අනාවරණය කරගෙන ඇත්තේ. පසුව අතරමගදී සහල් තොගය කාන්තාය විසින් යවනු ලබන ලොරියට පටවා ගන්නා ඇගේ ගෝල බාලයන් ඇගේ උපදෙස් මත එම සහල් තොග කොළඹ හා තදාසන්න ප්‍රදේශවල වෙළෙඳසල් වලට දමා මුදල් උපයා ගන්නා බව ද සොයාගෙන තිබෙනවා.

 

මෙහි විශේෂත්වය වන්නේ ඇය මේ කිසිදු ස්ථානයක පෙනී නොසිටීම බව යක්කල පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවා. ජාවාරම කරනුයේ ජංගම දුරකථන ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා. මෙලෙස වාරියපොල ප්‍රදේශයේදී හාල් මුදලාලි කෙනෙකුගෙන් ඔන්ලයින් ක්‍රමයට ඇනවුම් කළ හාල් තොගයක් ද මෙම කාන්තාව විසින් අතරමගදී සිය ගෝලයින් යොදවා වෙනත් ලොරියකට පටවා කළ කොල්ලයක් මගින් කොළඹින් පිට ප්‍රදේශ වලට විකුණා තිබුණා.

 

මේ සම්බන්ධයෙන් එම ව්‍යාපාරිකයා යක්කල පොලිසියටද පැමිණිල්ලක් කර තිබුණු බවයි වාර්තා වන්නේ. ඒ පිළිබඳව විමර්ශන ඇරඹූ යක්කල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් අදාළ සහල් තොගය පානදුර හා මොරටුව ආශ්‍රිත ප්‍රදේශවල වෙළඳසල් වලට විකුණා තිබියදී සොයාගෙන තිබුණා. ඒ අනුව රුපියල් 1,285,000 වටිනාකමක් ඇති කිලෝ 8000කට වැඩි සහල් තොගයක් ප්‍රවාහනය කළ ලොරිය ද සමග අත්අඩංගුවට ගත් බව යක්කල පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළා.

 

මේ සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල සහල් තොගය වාරියපොළ පදිංචි සහල් ව්‍යාපාරිකයෙකුගෙන් ඇණවුම් කළ ද ඒ සඳහා කිසිදු මුදලක් ව්‍යාපාරිකයාට ලබාදී නොමැති බවත්, සිදුවීම පිළිබඳව සැක කළ ව්‍යාපාරිකයා යක්කල පොලිසියට පැමිණිලි කර ඇති බවත් වාර්තා වනවා. පසුව මේ සම්බන්ධයෙන් CCTV කැමරා පිරික්සා බලා සහල් තොග හා ඒවා ප්‍රවාහනය කළ ලොරිය ද අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි යක්කල පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

 

කාන්තාව මෙම ජාවාරම සිදු කරන්නේ ඔන්ලයින් ක්‍රමයට ජංගම දුරකථන භාවිතා කරමින් නිසා ඇය කවුද මෙම ව්‍යාපාරිකයා හඳුනාගෙන නොමැති බව පැවසූ පොලිසිය ඇය අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් පවා යොදවා තිබෙන බව පැවසුවා. ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතාගේ උපදෙස් මත යක්කල පොලිස් ස්ථානාධිපති සිතාර කරුණාරත්න මහතා ඇතුළු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

views

6665 Views

Comments

arrow-up