සමාජ මාධ්‍ය ඔස්සේ හිටපු ඇමැතිට මඩ ගැසූ ව්‍යාපාරිකයාට වසර පහකට අත්හිටුවූ සිරදඬුවම්

හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් කාදර් මස්තාන් මහතා සම්බන්ධයෙන් මහජනතාව නොමග යවන සුළු හඬපට වට්ස්ඇප්, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ එන්. එම්. පාරිස් නමැති ව්‍යාපාරිකයාට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (26) මාස හයක සිරදඬුවම් නියම කළේය.
එම සිරදඬුවම ක්‍රියාත්මක කිරීම වසර පහක කාලයකට අත්හිටුවීමට ද නියෝග කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකරුට රුපියල් 5000ක දඩයක්ද නියම කළේය.
ඔහු විසින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැමිණිලිකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට අපහාස වන ආකාරයෙන් ප්‍රචාරය කර ඇති සියලුම ප්‍රකාශ වහාම ඉවත් කරන ලෙසටද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.
2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ 24 වන වගන්තිය යටතේ කාදර් කාදර් මස්තාන් මහතා විසින් කර තිබූ පැමිණිල්ලක් සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන එන්. එම්. පාරිස් නමැති එම ව්‍යාපාරිකයාට එරෙහිව මින්පෙර කොන්දේසි සහිත වාරණ නියෝගයක් නිකුත් කර තිබිණි.
කාදර් කාදර් මස්තාන් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රි මහතා පෙනී සිටියේය.
172 Views
Comments