නිදහස් පක්ෂයේ සහය අගමැතිට - මෛත්‍රීගෙන් ලිපියක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
15

නිදහස් පක්ෂයේ සහය අගමැතිට - මෛත්‍රීගෙන් ලිපියක්

නිදහස් පක්ෂයේ සහය අගමැතිට - මෛත්‍රීගෙන් ලිපියක්

අග්‍රාමාත්‍යවරයා කළ ආරාධනයට අනුව ආණ්ඩුවට සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා. එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමිනුයි මෙම දැනුම් දීම කර ඇත්තේ.

 

කෙසේ වෙතත් කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධූර භාර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව තීරණය කිරීමට නියමිත බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

 

අදාළ සාකච්ඡාව හෙට පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.

 

පසුගියදා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වූ අතර, එහිදී ආණ්ඩුවට සහයෝගය නොදැක්වීමටයි තීරණය කෙරුණේ.

 

මේ අතර පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂ දහයේ එකමුතුවේ නියෝජිතයන්ට සාකච්ඡාවක් සඳහා පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ආරාධනා කර තිබෙනවා.

 

කෙසේ වෙතත් එම පක්ෂ නියෝජිතයින් අද සාකච්ඡාවක් සඳහා යොදාගෙන ඇති බැවින් අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡාවට වෙනත් දිනයක් ලබාදෙන ලෙසයි ඉල්ලා ඇත්තේ.

 

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු පාර්ලිමේන්තුව පළමු වරට අනිද්දා රැස්වීමට නියමිත අතර, අමාත්‍ය මණ්ඩලය පත් කිරීමට අදාළව දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත සහය පළ කිරීමට ඊයේ තීරණය කළා.

 

ඒ අනුව පූර්ණ අමාත්‍ය මණ්ඩලයක් පත් කරන තෙක් කැබිනට් අමාත්‍යවරු හතරදෙනෙකු ඊයේ පත් කෙරුණු අතර, ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් තුන්දෙනෙකු ඇතුළත්.

 

මේ අතර කඳුරට ජනතා පෙරමුණේ සහයෝගය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ලබා නොදෙන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් පවසනවා.

 

ඔහු මේ බව කියා සිටියේ හැටන් නගරයේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

views

513 Views

Comments

arrow-up