මෙරට ප්‍රධාන පෙළේ මත්පැන් නිෂ්පාදන සමාගමක් ඇතුලු සමාගම් 5ක බලපත්‍ර අත්හිටුවීමට තීරණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
13

මෙරට ප්‍රධාන පෙළේ මත්පැන් නිෂ්පාදන සමාගමක් ඇතුලු සමාගම් 5ක බලපත්‍ර අත්හිටුවීමට තීරණයක්

මෙරට ප්‍රධාන පෙළේ මත්පැන් නිෂ්පාදන සමාගමක් ඇතුලු සමාගම් 5ක බලපත්‍ර අත්හිටුවීමට තීරණයක්

ගෙවිය යුතු හිඟ බදු මුදල් මේ මස 30 වනදාට පෙර ගෙවීමට අපොහොසත් වුවොත් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම ඇතුළු මත්පැන් නිෂ්පාදන සමාගම් පහක බලපත්‍ර අත්හිටුවීමට සුරා බදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

 

සමාජ ක්‍රියාකාරිකයකු වන සංජය මහවත්ත ඇතුළු පිරිසක් විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා විසින් මෙම දැනුම් දීම සිදුකළේය.

 

මෙම පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

 

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම, රෝයල් ඩිස්ටිලරිස් ඇතුළු මත්පැන් නිෂ්පාදන සමාගම් 05ක් විසින් ගෙවිය යුතු හිඟ බදු මුදල් මේ මස 30 වනදාට පෙර ගෙවීමට පියවර ගන්නා ලෙස දැනුම් දී ඇති බවය. 

 

එසේ හිඟ බදු මුදල් ගෙවීමට අපොහොසත් වුවොත් ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

 

ඉන් අනතුරුව මෙම පෙත්සම ලබන ජනවාරි 22 වනදා කැඳවීමට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් වගඋත්තරකරුවන්ට නියෝග කෙරුණි.

views

189 Views

Comments

arrow-up