පාට පක්ෂ අභිභවන ජන කැරැල්ලක් අත ළඟ - ඉහළ තැනකට බුද්ධි වාර්ථාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
19

පාට පක්ෂ අභිභවන ජන කැරැල්ලක් අත ළඟ - ඉහළ තැනකට බුද්ධි වාර්ථාවක්

පාට පක්ෂ අභිභවන ජන කැරැල්ලක් අත ළඟ - ඉහළ තැනකට බුද්ධි වාර්ථාවක්

ආර්ථික අර්බුදය උග්‍ර වීම හේතුවෙන් නිර්මාණය වී ඇති ආණ්ඩුකරණයේ කඩාවැටීම හමුවේ දේශපාලන පක්ෂ අභිබවා යන බහුජන විරෝධයක් රට පුරා බුර බුරා නැගෙමින් පවතී.

 

දේශපාලන පක්ෂ වලට පවා සංවිධානය කරගත නොහැකි අයුරින් අසංවිධිත ලෙස දියත් වෙමින් පවතින ආණ්ඩුවට එරෙහිව විරෝධතා ගැන මේ වන විට රාජ්‍ය බුද්ධි අංශ විසින් දේශපාලන විධායකයට කරුණු වාර්තා කරනු ලැබ තිබේ.

 

ජනාධිපතිවරයා ජාතිය අමතා ප්‍රකාශයක් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය ලබා ගැනීමට අනිශ්චිත තීන්දුවක් ගැනීමටත් මෙම පසුබිමද ප්‍රධාන හේතුවක් වී ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සති අන්ත පුවත්පතකට පවසා තිබේ.

 

මෙම තත්වය හේතුවෙන් ආණ්ඩුකරණයේ හෙට දවස ගැන පවා අවිනිශ්චිතභාවයක් හටගෙන ඇතැයි කී හෙතෙම අර්බුදයට න්‍යායික විසඳුම් සොයන්නන්ට පවා සම්මුතියකට පැමිණීමට නොහැකි වීමෙන් එය තවදුරටත් උග්‍ර කර ඇතැයි පැවසීය.

 

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී දේශපාලන පක්ෂ කිහිපයක ජේෂ්ඨයන්ගේ අදහස වී තිබුණේ පක්ෂ සංවිධානය අංකනය පරයමින් ජනතාව අසංවිධානාත්මක ලෙස ස්වයං තීන්දු ගනිමින් සිටින බවත් මේ ගැන සිය පක්ෂ අභ්‍යන්තර සාකච්ඡාවලදී ගැඹුරින් අවධානය යොමුකර ඇති බවත්ය.

 

මීට වසරකට පමණ පෙර කොවිඩ් වසංගත සමයේ අර්බුදකාරී කාලපරිච්ඡේදයේ දී හා ජාතික සම්පත් සම්බන්ධ දේශපාලන තීන්දු වලදී වෘත්තිය සමිති හා අභිලාෂක කණ්ඩායම් ජනතාවට නායකත්වය දුන් නමුත් මේ වන විට ඊට වෙනස් තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් පිළිගන්නා බවත් ඔවුහු පැවසූහ.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර ඇමැතිවරයා පසුගිය දා ප්‍රසිද්ධියේම පැවසුවේ එල්.ටී.ටී.ඊ සංවිධානය මෙහෙය වන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයකට වුවත් සහභාගී වන තරමට ජනතාව ප්‍රකෝපකාරී වී ඇති බවයි.

 

සමාජ විද්‍යාඥයකු ලෙස හැඳින්වෙන මහාචාර්ය සිරි හෙට්ටිගේ මහතා මව්බිම පුවත්පතට පවසා ඇත්තේ චිත්තවේග මත පදනම් වූ මෙම මහජන විරෝධතා ඇතැම් විට සමාජය පිළිගත් වටිනාකම් බිඳ වැටෙන තත්ත්වයක් හෙවත් අනෝමීය තත්වයක් කරා වර්ධනය විය හැකි බවයි

 

ආර්ථික අර්බුධයේ අතුරුඵල ලෙස පැන නැගී ඇති ඉන්ධන, විදුලිය අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමේ ප්‍රශ්නය මිනිසුන්ගේ මූලිකම අවශ්‍යතාවය වන ආහාර සම්පාදනයට බලපෑම එන්න දරුණු සමාජ අර්බුදයක් නිර්මාණය වී ඇති බව පෙන්වා දුන් මහාචාර්ය හෙට්ටිගේ, පන්ති භේදයෙන් තොරව සියලු සමාජ තීරු එක ලෙස පහර කන තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇතැයි අවධාරණය කළේය.

 

ජීවන වියදම සමඟ උද්ධමනය ඉහළ යෑම එක විට සිදු වෙද්දී ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාවක් පහළ වැටීම නිසා හෙට දවස ගැන අපේක්ෂා භංග වූ තත්ත්වයක් නිර්මාණය වී ඇතැයිද එය රටක සමාජ ක්‍රමය පවත්වාගෙන යාමට පවා නරක ලෙස බලපා ඇතැයි ද මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

 

කෙසේ වෙතත් මේ අතර ඉන්ධන හා විදුලිය ප්‍රශ්න මුල් කරගනිමින් කොළඹ නාගරිකයන් නුගේගොඩ, මහරගම ආදී ප්‍රදේශවල ආරම්භ කළ විරෝධතා මේ වන විට ගම් දනව් කරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන අතර ජාත්‍යන්තර ජනමාධ්‍ය අවධානයද ඊට යොමු වී තිබේ.

 

 

 

Bigun Menaka Gamage

views

1629 Views

Comments

arrow-up