භූගත පානීය ජල ටැංකියක් පිරිසිදු කිරීමට ගිය දෙදෙනෙක් මරුදකී

මල්වානේ වල්ගම බටහිර ප්‍රදේශයේ නිවෙසක මිදුලේ තිබෙන භූගත පානීය ජල ටැංකියක් පිරිසිදු කරමින් සිටි දෙදෙනෙකු පෙරේදා (01දා) රාත්‍රියේ හුස්ම ගැනීමට අපහසුවීමෙන් මරු මුවට පත් වී ඇති අතර තවත් තිදෙනෙකු රෝහල් ගත කර ඇත.
සිද්ධියෙන් මියගියේ නිවෙස හිමිකරු වන මල්වානේ වල්ගම බටහිර ප්‍රදේශයේ පදිංචිව සිටි අබ්දුල් කාදර් මොහොමඩ් හසන් නමැති 61 හැවිරිදි තිදරු පියෙකු හා පමුණුගම,අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අරණායක මුදියන්සේලාගේ පාලිත පරාක්‍රම නමැති 51 හැවිරිදි දෙදරු පියෙකි.
මෙහිදී හුස්ම ගැනීමට අපහසුවීමෙන් රෝහල් ගත කළ තිදෙනාගෙන් දෙදෙනෙකු රාගම මහ රෝහලේ හා සෙසු පුද්ගලයා බියගම රෝහලේ ප්‍රතිකාර ලබති.
මියගිය නිවෙස් හිමිකරු ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක භාරකරුවකු වේ.මෙම ජල ටැංකිය කොන්ක්‍රීට්වලින් ආවරණය කළ එකක් වන අතර එහි ගැඹුර අඩි 16 ක් පමණද වට ප්‍රමාණය අඩි 09යි 10 ක් පමණද වසා ඇති පියන අඩි 02යි 02 ක් පමණද වෙයි.
සිද්ධිය වූ දින (01දා) රාත්‍රි 7.00ට පමණ මෙම නිවසේ මිදුලේ තිබෙන භූගත පානීය ජල ටැංකියේ පියන විවෘත කොට ජල ටැංකිය පිරිසිදු කිරීම සඳහා එම කටයුත්තේ මූලිකත්වය ගත් මියගිය පාලිත පරාක්‍රම නමැත්තා ජල ටැංකියේ ජලය හිස් කොට ජල ටැංකිය තුළට ඉනිමගක ආධාරයෙන් බැස ඇත.
එහිදී ඔහුට හුස්ම ගැනීමට අපහසුවීම නිසා ඉනිමග දිගේ ගොඩ එනවිට ඔහු ජල ටැංකියට වැටී තිබේ.
පසුව ඔහුව ගොඩට ගැනීම සඳහා මියගිය නිවෙස් හිමිකරු ජල ටැංකියට බැස ඇති අතර ඔහුටද හුස්ම ගැනීමට අපහසුවීමෙන් ඉනිමග දිගේ ගොඩට එන විට ඔහුවද ජල ටැංකියට වැටී ඇත.
ඒසමගම තවත් තිදෙනෙකු ජල ටැංකියට බැස ඔවුන් දෙදෙනා ගොඩට ගත් අතර ඒ වනවිටත් එම දෙදෙනා මියගොස් සිටි බවට ඔවුහු කියති.
පසුව එම තිදෙනාටද හුස්ම ගැනීමට අපහසුවීමෙන් රෝහල් ගත කර ඇත.
695 Views
Comments