කෝටි ගාණක අයිස් තොගයක් මහ මුහුදෙන් මතු වේ ( ජායාරූප සහිතයි )

දකුණු මුහුදේ දී නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා රාජ්‍ය බුද්ධි සේවාව එක්ව සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකින් පසු අත්අඩංගුවට ගත් රුපියල් මිලියන 4,586 කට අධික වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් අද (18) දින විශේෂ ආරක්ෂාවක් මැද කොළඹ වරායට රැගෙනවිත් තිබේ.
මෙහි අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 128 ග්‍රෑම් 327ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 106 ග්‍රෑම් 474කට අධික තොගයක් බහා තිබී ඇත.
මෙම මත්ද්‍රව්‍ය තොගය පරික්‍ෂා කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගි විය.
ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය සිදු කළ විශේෂ ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමකට අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුදුර නෞකාව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ දින ගණනාවක් ආවේක්‍ෂණය කරමින් සිදුකළ මෙම විශේෂ මෙහෙයුමේ දී, දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 229 ක් පමණ දුරින් වූ (කිලෝ මීටර් 424 ක් පමණ) දකුණු මුහුදේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කළ බව නාවික හමුදාව පවසයි.
එහිදී, එම බහුදින ධීවර යාත්‍රාවේ සූක්‍ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබූ උර දහ තුනක (13) පැකට් 94 ක් තුළ අසුරන ලද අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 128 ග්‍රෑම් 327ක් සහ පැකට් 98ක අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 106 ග්‍රෑම් 474කට අධික තොගයක් (ඇසුරුම් බර සහිත) සොයා ගැනීමෙන් අනතුරුව, එම බහුදින ධීවර යාත්‍රාව සමඟ එහි සිටි දේශීය සැකකරුවන් අට දෙනෙකු ඉකුත් 14 වන දින අත්අඩංගුවට ගෙන ඇත.
එසේම සමුදුර නෞකාව මඟින් අත්අඩංගුවට ගත් එම මත්ද්‍රව්‍ය රැගත් බහුදින ධීවර යාත්‍රාවට ඉන්ධන ලබාදීමට පැමිණි තවත් මෙරට බහු දින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු ද නාවික හමුදාව මඟින් එහිදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරුණි.
මෙම විශේෂ මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකරුවන් වයස අවුරුදු 29ත් 59ත් අතර වයසේ පසුවන තංගල්ල, නාකුළුගමුව, කොස්ගොඩ සහ බලපිටිය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇති අතර, එම සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව ඇත.
234 Views
Comments