සිරුරේ ජීවය බඳු වූ රුධිර සංසරණ පද්ධතිය

ශරීරයේ සියලුම ඉන්ද්‍රියන් හා සෛල වෙත ආහාර සහ ඔක්සිජන් සපයන්නේ රුධිරයයි. සෛල ක්‍රියාකාරීත්වයේ දී නිපදවන කාබන් ඩයොක්සයිඩ් පෙණහලූ වෙතටත් අනිකුත් අපද්‍රව්‍ය අක්මාව සහ වකුගඩු වෙතටත් රුධිරය මඟින් ප්‍රවාහනය කෙරේ. රුධිරය ශරීරය පුරා රැගෙන යන්නේ රුධිර සංසරණ පද්ධතිය මඟිනි.
හෘදය රුධිර සංසරණ පද්ධතියේ ප්‍රධාන අවයවයයි. එය උරස් කූඩුව තුළ පෙනහලු දෙක අතර වම් පසට වන්නට පිහිටා ඇත. හෘදය පොම්පයක් ලෙස ක්‍රියාකරමින් රුධිරවාහිනී හරහා රුධිරය ගමන් කරවීමට අවශ්‍ය බලය සපයයි. හෘදය පේශි වලින් සැදුණු අවයවයක් වන අතර හෘත් පේශි පහසුවෙන් විඩාවට පත් නොවන නිසා සෑමවිටම රුධිර සංසරණය පවත්වා ගත හැකි වේ. හෘදය තුළ කාමර හතරක් පිහිටා ඇති අතර එනම් වම් සහ දකුණු කර්ණිකා හා වම් සහ දකුණු කෝෂිකා වේ. හෘදයෙන් පිටතට රුධිරය ගෙනයන වාහිනී ධමනි යනුවෙන් හඳුන්වයි. ඉන්ද්‍රියන්ගෙන් නැවත හෘදය කරා රුධිරය ගෙන එන රුධිරවාහිනී ශිරා නම් වේ. ධමනි හා ශිරා කේශනාලිකා හරහා සම්බන්ධ වේ. ඉතා සියුම් කෙඳි වෙන කේශ නාලිකා හරහා රුධිරය ගමන් කරන විට සෛලවලට අවශ්‍ය ද්‍රව්‍ය අවශෝෂණය කරගෙන අනවශ්‍ය අපද්‍රව්‍ය රුධිරයට මුදා හැරේ. ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ ක්‍රියාවලියට අමතරව ශරීර උෂ්ණත්වය පවත්වා ගැනීමටද රුධිර සංසරණ පද්ධතිය උපකාරී වේ. ව්‍යායාම කිරීමේදී හා තැති ගත් අවස්ථාවකදී හෘදයේ ක්‍රියාකාරීත්වය වැඩි වී නාඩි වැටීමේ වේගය වැඩිවේ. වැඩිහිටියෙකුගේ හෘද ස්පන්දනය සාමාන්‍යයෙන් විනාඩියකට 72 වරකි. ඔබට තුවාලයක් වූ අවස්ථාවකදී රතු පැහැති රුධිරය ගලා යන සැටි ඔබ දකින්නට ඇති. රුධිරයේ සෛල වර්ග කිහිපයක් ඇත. රතු රුධිරාණු එක් වර්ගයක් වන අතර රතු රුධිරාණු තුළ ඇති යකඩ අඩංගු වර්ණකය නිසා රුධිරය රතු පැහැති වී තිබේ. රතු රුධිරාණු ඔක්සිජන් හා කාබන්ඩයොක්සයිඩ් ප්‍රවාහනයට ද උදව් වේ. රුධිරයේ ඇති සුදු රුධිරාණු නමැති සෛල වර්ගය ශරීරයට ඇතුළු වන විෂබීජ විනාශ කිරීමට උපකාරී වේ. තුවාලයක් වූ විට කැටිගැසී රුධිරය පිටතට වහනය වීම වැලැක්වීමට රුධිරයේ ඇති පට්ටිකා වලට හැකියාවක් පවතී.
වායු වර්ග හා ආහාර වලට අමතරව ඖෂධ, හෝමෝන හා එන්සයිම වර්ග ද රුධිරය මගින් සෛල කරා ප්‍රවාහනය කරයි. පුද්ගලයන් වශයෙන් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීම සඳහා ඔබ විසින් රුධිර සංසරණ පද්ධතියේ නිරෝගී බව ආරක්ෂා කරගැනීමට හැකි පමණ කටයුතු කළ යුතු වේ. මක්නිසාද රුධිර සංසරණ පද්ධතිය නිරෝගි නොමැතිව කිසිදු පුද්ගලයකුට ජීවත් විය නොහැකි බැවිනි.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
1063 Views
Comments