නිවසටම කොටුවී ඇති ඔබගේ දරුවන්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
20

නිවසටම කොටුවී ඇති ඔබගේ දරුවන්

නිවසටම කොටුවී ඇති ඔබගේ දරුවන්

මේ දිනවල අපේ රටේ මෙන්ම ලොව පුරාම පැතිරී යන දරුණුතම වසංගතයක් හේතුවෙන් ලෝකවාසීන් විවිධාකාරයේ කායික මෙන්ම මානසික ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දී තිබේ. මෙම තත්වය කෙලෙස කවදා අවසන් වේවිද කියා අප කිසිවෙකුටත් කිව නොහැකියි. දෛනිකව රැකියා වලට යමින් මෙන්ම දරුවන්ගේ වැඩ කටයුතු කරමින් කාර්යබහුල දිවිපෙවෙතක් ගත කළ ඔබ අප සැම සියලු දෙනාම අද නිවසටම කොටුවී සිටියි. මෙම තත්ත්වය වැඩිහිටියන්ට කුමන හෝ ආකාරයකින් කළමනාකරණය කර ගැනීමට හැකි වුවද ඔබගේ දරුවන්ට එය පහසු කාර්යයක් නොවනු ඇත. දරුවන් යනු කිසිදිනක නිවසට කොටුවී සිටීමට කැමති පිරිසක් නොවේ. එම නිසාවෙන් මේ දිනවල දරුවන්ගේ මානසික තත්ත්වය පිළිබඳව ඔබ කවරදාකටත් වඩා සැලකිලිමත්වීම වැදගත් නේද.

පවතින තත්වය හේතුවෙන් නිවසේ රැඳී සිටින නිසා දරුවන්ගේ මනෝමීය ගැටලු සහ සංකූලතා බොහොමයක් ඇති විය හැකියි. එමෙන්ම දරුවන්ගේ සිතේ ආතතිය සහ පීඩනය ඇති වූ විට විවිධ මානසික සහ ශාරීරික ලක්ෂණද පෙන්වන්නට පුලුවන්. දරුවන්ගේ වයස, සංවර්ධන අවස්ථාව, සමාජ ඉගෙනීම, හැඟීම් පිළිබඳ බුද්ධි මට්ටම සහ මනෝ ස්වභාවය යනාදිය ආතතිය සහ පීඩනයට බලපාන සාධක ලෙස හඳුනාගත හැකියි. මේ දිනවල ඔබගේ දරුවා වෙනදාට වඩා වැඩියෙන් නිතරම කේන්ති ගැනීම, වයසට වඩා කුඩා ළමයෙක් ලෙස හැසිරීම, නිතර කනස්සල්ලෙන් සිටීම මෙන්ම නින්ද සහ ආහාර රටාව වෙනස් කිරීම යනාදී ලක්ෂණ පෙන්විය හැකියි. ඒ අතරම අවධානය අඩුවීම, කලබලකාරී ගතියක් පෙන්නුම් කිරීම, කලින් වඩාත් කැමැත්තක් දැක්වූ දේවල් දැන් දැන් ප්‍රතික්ෂේප කිරීම, හේතුවක් නොමැතිව හිසරදය ඇති බව පැවසීම සහ වැඩිහිටියන් හට අවනත නොවී විරුද්ධ දේවල් සිදු කිරීමට පෙළඹීම යනාදිය ද සිදු කළ හැකියි.

මෙවැනි අවස්ථාවන් වලදී ඔබ කලබල වීම සිදුකළ යුතු නැහැ. අවශ්‍ය වන්නේ වඩාත් අවබෝධයකින් යුතුව ඔබගේ දරුවන් හැසිරවීමයි. ඔබ විසින් මෙහිදී දරුවන්ට ඉතා වැදගත් මූලික කරුණු පමණක් පැවසිය යුතු අතර ඔබට පාලනය කළ හැකි දේවල් සහ නොහැකි දේවල් එනම් කෑම බීම සහ ඇඳිරි නීතිය වැනි දේවල් ඔවුනට වටහා දීම සිදුකළ යුතුයි. එමෙන්ම හැකි සෑම විටම නිවස තුළ දරුවන් ආරක්ෂිත බව ඔවුන්ට දැනෙන්නට සැලැස්වීමද ඉතාමත් වැදගත්. මෙවැනි අවස්ථාවකදී බිය සහ කනස්සල්ල ඇතිවීම සාමාන්‍ය බවද දරුවන්ට ඒත්තු ගන්වන්න. රටේ පවතින තත්ත්වය පිළිබඳව ප්‍රවෘත්ති බැලීම සහ තොරතුරු බෙදාහැරීම දරුවන් ඉදිරියේදී සීමා කිරීමද යම්තාක් දුරට කරන්නට හැකි නම් එය දරුවන්ට අනවශ්‍ය පීඩනයක් ඇතිවීම වලක්වාවි. හැකි සෑම විටම ඔබගේ දරුවන් ඉගෙනීමට චිත්‍ර ඇඳීමට සංගීතයට සෙල්ලම් කිරීමට යොමු කරන්න. දිනකට ඒකාකාරී නොවන අලුත් දෙයක් කිරීමට දරුවන්ට උපදෙස් දෙන්න. එමෙන්ම ඔබද ආදර්ශයක් ලෙස ස්මාර්ට්ෆෝන් භාවිතය අඩු කිරීමද වැදගත්. තවද දරුවන්ට සිත සන්සුන් කිරීමේ ව්‍යායාමයක් හඳුන්වාදීමද දෙමාපියන් වශයෙන් ඔබට සිදු කළ හැකියි.

 

 

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi 

Photo source : Internet

views

505 Views

Comments

arrow-up