ඇත්තටම ඒක නම් ඉවසන්න බැරි කරච්චලයක්.. - බිරිඳගේ වදය ඉවසාගන්න බැරුව කළ දෙයින් පසු සැමියෙකුට අත්වුණු නොසිතූ ඉරණම

මේ දිනවල පොල් මිල එලොව පොල් පෙනෙන තරමටම ඉහළ ගිහින්...
සිය නිවසේ පවතින පොල් ප්‍රශ්නයෙන් භාර්යාව ඔහුගේ ඉහමොළයට වද දුන්නේ වරක් දෙවරක් නොව කිහිපවරක්මයි... රුපියල් දෙසීය, තුන්සීය වැනි ඉතා ඉහළ මිලකට පොල් ගෙඩියක් නිවසට රැගෙන ගිය විට එය කලටි යයි කියමින් බිරින්දෑ කෑමොර දුන්නේ වරක් දෙවරක් නෙවෙයි..
හොඳටම වේළිච්ච ගෙඩියක් ගෙන ගිය විට උන්දෑගේ කන් කරච්චලය ඊට නොදෙවැනියි... මිනිහෝ මේක හොඳටම වේළිලා වෑංජනයකට දාන්න බැහැ වෑංජනය පැණි රස වෙනවා කියමින් යටි ගිරියෙන් මොර දුන් අවස්තාවලට අසල්වැසියන් පවා සාක්ෂියි.. බිරිඳගේ කරදරයත් එන්න එන්නම වැඩිවෙලා.. ඒ නිසා ටික දවසකට හරි ඒ කරදරයෙන් මිදෙන්න මේක තමයි හොඳම ක්‍රමේ කියලා ඔහුට හිතෙන්න ඇති..
මේ කියන්න යන්නේ බිරිඳගෙන් බේරෙන්න දකුණේ ගමක සැමියෙක් කළ අපූරු වැඩක් ගැන කතාවක්.. ඒත් අවසානයේ ඒ වැඩේ නිසා ඔහු අවසානයේ ගමක් ඉස්සරහා අසරණ වෙලා..
ගමේ තරුණ පිරිස මේ වෙසක් පොහොයට දන්සලක් දෙන්න සූදානම් වෙන්නේ මෙවන් වටපිටාවකයි... ඔහු එහි නිත්‍ය සාමාජිකයකු වන්නේ තරුණයන්ට සවියක් වෙන බව පවසමින්... තරුණ සංවිධායකයෝ තමන් දන්නා හඳුනන අයගෙන් මේ සදහා ආධාර උපකාර ලබා ගත්තා... කතා නායකයාද නිකන් නොසිටියා...
ඔහුද ඊට සක්‍රීයව දායක වී තිබුණා... තමන් දන්නා හඳුනන පොල් ඉඩම් හිමියෙකු ළඟට ගොස් තමන්ගේ වෙසක් දන්සලට පොල් ගෙඩි විසිපහක් දෙන ලෙස ඔහු ඉල්ලා සිටියා... දනට පිනට කැමති පොල් ඉඩම් හිමියා ඊට එක පයින්ම කැමතිවූයේ වෙසක් පොහොයට කරන්න පින් කටයුත්තක් සිත සිතා ඉන්නා අතරේ මේ දන්සලට පොල් ලබාදීමට හැකිවීමෙන්...
දන්සල පවත්වන සමීපයේම සිය නිවස ඇති බැවින් දන්සලට දෙන පොල් තමාගේ නිවසට දෙන ලෙස ඔහු පොල් ඉඩම් හිමියාගෙන් ඉල්ලා සිටියා... ඒ විතරක්ම නොව දන්සල දිනට නොවරදවාම එන ලෙසත් ඔහුගේ නිවසේ සියලුදෙනාටම එදින කෑම දන්සලෙන් පාර්සල් ලෙස ලබාදෙන බවත් දන්සල් සංවිධායකයා පැවසුවා... මේ ආරාධනයෙන් ඉමහත් සතුටට පත්වූ පොල් ඉඩම් හිමියා මේ ආරාධනාව භාර ගත්තේ පින් කටයුත්තක් සේ සලකායි...
දන්සල දා දහවල් පොල් ඉඩම් හිමියා එහි ගියේ ආරාධනාවට අනුව දන්සල වදින්නයි... තමාගේ හිතවතා එහි නොසිටි හෙයින් අනෙක් අයගෙන් ඔහු ගැන විපරම් කළා... ඔහු දන්සල පිටිපස උයන තැන බව ඔවුන්ගෙන් දැන ගන්නට ලැබුණා... ඒ අනුව ඔහු දන්සල පිටි පසට ගියා... හිතවතා එහිසිටි අතර, පොල් ඉඩම් හිමියාගේ හිත කීරි ගැසෙන දර්ශනයක් එහිදී දුටුවා... හිස් පොල් කිරි පැකට් සෑම තැනමයි... එකම පොල් මුඩ්ඩක් හෝ පොල් කට්ටක් එහි දක්නට නොවීය.. තමන් දුන් පොල් ගෙඩි විසිපහට සිදුවූ දෙය ඉවෙන් මෙන් ඔහු දැන ගත්තද එය සාක්ෂි සහිතව දැන ගැනීමට ඔහුට අවශ්‍ය වී තිබුණා...
ඒ නිසාම ඔහු තමා පොල් ගෙඩි විසිපහ බෑ දන්සල ආසන්නයේ සිටි අයගේ නිවසට ගියා... එම නිවසේ හතර වටම නිරීක්ෂණය කළ ඔහුට තමා එදා පොල් ගෙනා පෝර උර දෙක තුනම පොල්වලින් පිරී නිවසේ මඩුවේ තිබෙනු ඔහු දුටුවා...
ඔහුට මළ පැන්නේ හිමින් නම් නොවේ... තමන් පොල් දුන්නු සංවිධායක සොයා ගියේ ඉන් අනතුරුවයි... සංවිධායකයා දන්සල මුවාවෙන් කළ පොල් සොරකම පිළිබඳව ඔහුට දෙහි කැපුවේ අනෙක් සංවිධායකයන්ද ඉදිරිපිටයි... නිදහසට කරුණු කාරණා රැසක්ම ඔහු ඉදිරිපත් කළත් දන්සලට නොගත් පොල් ගෙඩි විසිපහ සිය නිවසට ගෙනත් දෙන ලෙස ඉල්ලා දන්සල නොවැදම ගියේ ආයෙත් නම් මේ වගේ දේවල්වලට හසුනොවනා බව කියමින්ලු...
- උපුටා ගැනීමක්
175 Views
Comments