ඇමති චාමර සම්පත් ඉදිරියේ ගුටිකෑ නිලධාරියාගේ වැඩ තහනම් කරලා

රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක ලංකා රාජ්‍ය පොස්පේට් සමාගමේ නිරීක්‍ෂණ චාරිකාවක් අතරතුර ඇතිවූ උණුසුම් තත්ත්වයකදී සේවකයකු විසින් වංචා දූෂණ වලට සම්බන්ධ යැයි පවසා විධායක නිලධාරියකුට පහරදීමේ සිද්ධියෙන් අනතුරුව පහරකෑමට ලක්වූ සැපයුම් නිලධාරිවරයාගේ සේවය තහනම් කිරීමට එහි පාලන අධිකාරිය කටයුතු කර ඇත.
එදින රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායකගේ සංචාරය අවස්ථාවේදී ද ඇමැතිවරයා එම නිලධාරියාගේ සේවය තහනම් කරන ලෙසට සභාපතිවරියට උපදෙස් ලබා දුන්නේය.
පෙරේදා (18දා) දින සිට සේවය තහනම් කළ බවට සැපයුම් නිලධාරි එස්. ඒ. අබේසිරිට ලංකා රාජ්‍ය පොස්පේට් ආයතනයේ සාමාන්‍යාධිකාරිවරයා විසින් ලිපියක් මගින් දැනුම්දී ඇත.
එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන් ව ඇත්තේ “ලංකා පොස්පේට් ලිමිටඩ් ආයතනයේ සැපයුම් නිලධාරි ලෙස කනිෂ්ඨ සේවා ගණයේ තනතුරක සේවය කරනු ලබන ඔබගේ සේවය ලංකා පොස්පේට් ලිමිටඩ් (රාජ්‍ය සමාගමේ) විනය පාලන නීති රීති 2006 (අ) සඳහන් නියමයන්ට අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩ හි XLVIII වැනි පරිඡේදයේ 31:1, 31:1:7, 31:1:8 හා 31:5:1 උප වගන්තීන් යටතේ පැවරී ඇති බලතල අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි වැටුප් රහිතව මෙයින් තහනම් කරනු ලැබේ යනුවෙනි.
ඒ අනුව රාජකාරී කටයුතු සඳහා ඔබ භාරයේ ඇති ආයතනය සතු සියලුම ලියකියවිලි/උපකරණ/බඩු බාහිරාදිය/ද්‍රව්‍ය හා ලිපිලේඛන ගණකාධිකාරි වෙත හෝ ඔහු විසින් නම් කරනු ලබන අයකු වෙත විධිමත්ව භාර දී සේවා ස්ථානයෙන් ඉවත්විය යුතු බවත් දැක් වේ.
වැඩ තහනමට ලක්ව සිටින කාලය තුළ මාගේ විධිමත් අවසරයකින් තොරව ඔබට මෙම ආයතන භූමියට ඇතුළු වීමට අවසර නොමැත.
වැඩ තහනමට ලක්ව සිටින කාලය තුළ ලිපිගොනු ගනුදෙනු කිරීම සඳහා ඔබගේ ස්ථිර ලිපිනය ලිඛිතව දැනුම් දෙන්න.
මෙම මුල් පිටපත භාරගත් බවට මේ සමග අමුණා ඇති අනුපිටපතේ අත්සන් කර එම පිටපත අප වෙත ලැබීමට සලස්වන්න යැයි වැඩිදුරටත් එම ලිපියෙහි සඳහන්ව ඇත.
266 Views
Comments