මාධවියගේ සිතුවම්වලින් හැඩවුණු කසුන්ගේ “සීනි මුරුක්කු” කෙටි කතා පොත දොරට වඩී (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
26

මාධවියගේ සිතුවම්වලින් හැඩවුණු කසුන්ගේ “සීනි මුරුක්කු” කෙටි කතා පොත දොරට වඩී (PHOTOS)

මාධවියගේ සිතුවම්වලින් හැඩවුණු කසුන්ගේ “සීනි මුරුක්කු” කෙටි කතා පොත දොරට වඩී (PHOTOS)

මේ ගෙවෙන්නේ කවුරුත් මහත් ආදරයකින් වැළඳගන්නා 'පොත් මාසය'

 

හෙට (27) එහි සුවිශේෂී ම දිනය උදා වෙනවා. ඒ තමයි 'කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය'

 

ඊට පෙරාතුව ම සිට, පොත්වලට ආදරේ කරන 'රසවතුන්ට' සුබ ආරංචි අරන් එන දවස් තමයි අපි මේ පහුකරගෙන පහුකරගෙන යන්නෙ.

 

ඊයෙත් (25) එහෙම සුබ ආරංචියක් අහන්න ලැබුණා... හරියට ම කිව්වොත් ඒක, 'රහ ආරංචියක්'

 

ඒ තමයි, කසුන්ගේ 'සීනි මුරුක්කු'

 

කසුන් මහේන්ද්‍ර හීනටිගල කියන අපූරු නිර්මාණකරුවාගේ 'පළවෙනි කෙටි කතා පොත' තමයි ඒ. එය කෙටි කතා විස්සකින් සමන්විතයි.

 

පොත ඊයේ, නුගේගොඩ Balalika Gallery Cafe හිදී ජනගත කෙරුණා.

 

 

කසුන් මහේන්ද්‍ර හීනටිගල කියන නම කවුරුත් වැළඳගන්නේ ඔහුගේ 'රසබර' ලිවීම් එක්ක.

 

එහෙම දැන හඳුනාගත්ත කසුන්ව මෑතකාලීනව වඩාත් කතාබහට ලක්වෙන්නෙ ඔහුගේ පෞද්ගලික ජීවිතේ තේරීම් නිසාවෙන්.

 

කසුන්ගේ වචනවලින් ම ඒ තේරීම් කෙතරම් 'ඵලදායී' ද කියනවා නම්, කසුන්ගේ 'සීනි මුරුක්කු' හැඩකරලා තිබුණෙත් මාධවියගේ අතින්.

 

කලා හැකියාවන් මහ හුඟක් කරපින්නා ගත් ඇය, 'අප්පච්චිගෙ ම දූ පොඩ්ඩ' බැව් එතැනදීත් ඔප්පු කරලා තිබුණා.

 

එහෙම කියන්න හේතුව තමයි, ජැක්සන් ඇන්තනී නම් ඒ මහා කලාගාරය 'අපූරු සිත්තරෙක්' ද වන විත්තිය ඔබ දන්නවනෙ නේද.

 

ඉතින්, මාධවීගෙත් අපූරු 'සිත්තම් දස්කම්' සීනි මුරුක්කු එක්ක ඔන්න කරළියට ඇවිත්.

 

 

පොත් දොරට වැඩුමක් කියන්නෙ ම 'රසබර සැඳෑවක්'

 

ගෙවුණු සීනි මුරුක්කු සැඳෑවත් එහෙම රසබර වුණු එකක්.

 

ඒ, හරවත් කතාබහකින් සේ ම පොතට එහා ගිහින් අතට ලැබුණු 'සීනි මුරුක්කු මුලකින්'

 

 

අසංක සතරසිංහ මෙහෙය වූ සීනි මුරුක්කු රස හවස, හරවත් දෙසුම් කිහිපයකින් ම හැඩවෙලා තිබුණා.

 

ඒ,

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ආචාර්‍ය සෝමරත්න දිසානායක, ප්‍රවීණ ගේය පද රචක වසන්ත දුග්ගන්නාරාළ, ජනප්‍රිය රංගන ශිල්පිනී මිෂෙල් දිල්හාරා, දේශක අකිල විමංග සෙනෙවිරත්න, ප්‍රවීණ ලේඛක මොහාන් රාජ් මඩවල ඇතුළු කිහිපදෙනෙකුගේ ම දෙසුම්වලින්.

 

ජීවිතේට එන මෙහෙම 'සුවිශේෂී දවස්' මතක විදියට හිතේ සදාකාලිකව ම ඇඳිලා තියෙනවා වගේම, දවසක ආයෙම බලලා 'හිත් පුරවාගන්න' කැමරා කාචයක සටහන් කරගන්න එකත් හරි වටිනවා.

 

මේ, ඒ විදියට ආදරණීයන් පිරිවරාගෙන ජනගත කෙරුණු 'සීනි මුරුක්කු' හැන්දෑවේ සේයා රූ කිහිපයක්. ඒත් එක්කම පොත එළිදැක්වීමෙන් අනතුරුව, කසුන් මුහුණු පොතට එක්කාසු කළ ලියමනත් පහතින් අමුණලා ඇති....

 

 

''අවුරුදු හතරක් වගේ දිගු කාලයක් තිස්සෙ නිදි නැති රාත්‍රීන් ගණනාවක් පහු කරගෙන මං මගේ මනසින්, හදවතින්, මොළයෙන් සහ දකුණතින් ලියාපු මගේ 'පළවෙනි කෙටි කතා පොත' තමයි සීනි මුරුක්කු.

පොතේ කෙටි කතා හරියටම විස්සක් තියෙනවා. ඒ හැම කෙටි කතාවටම අදාළව එකිනෙක වෙනස් 'සිතුවම් විස්සක්' මේ පොත කියවනකොට ඔබට හමුවෙනවා. ඒ සකල සිතුවම් ඇන්ද සුදක්ෂ සිත්තරී මගේ බිරින්දෑ මාධවී. මෙච්චර කාලෙකට බහුතරයක් නුදුටු ඇගේ ඒ සිත්තම් දස්කම් සීනි මුරුක්කුත් එක්ක නැවුම් ප්‍රාණයක් ලබනවා.

මායි, මාධවියි ප්‍රේමෙන් බැඳිලා ටික කාලෙකට පස්සෙ එක්තරා හැන්දෑවක හොට් චොක්ලට් බඳුනක් තොලගාමින් ඉද්දි ඈ හරි අපූරු පැනයක් මගෙන් ඇහුවා.

'ඔයා දන්නවද අපේ සම්බන්ධෙ තියෙන වටිනම දේ මොකක්ද කියලා ?'

මං ඇගේ අතින් අල්ලගෙන කටින් මුකුත් නොකියා නිහඬ හිනාවක් පෑවා. ඒ සැරේ මාධවීම එයාගෙ පැනයට අදාළ උත්තරේ මා දිහා බලන් කීවා.

'අපේ ආදරේ ඵලදායී සම්බන්ධයක්. මාරම ඵලදායී !'

ඒ ආදර ඵලදායීතාවයේ අලුත්ම ප්‍රතිඵලය තමයි මිතුරනි, සීනි මුරුක්කු.

පොත එළිදැක්වීමෙ මංගල්ලෙන් පස්සෙ එකදිගට ගලාගෙන එන ප්‍රතිචාර, ආශීර්වාද, සුපැතුම් සහ 'අපාය සහායක සුමිතුරන්' නිසා මේ මොහොත වෙනකොටත් තවම මං අවදියෙන්

ගෙවී ගිය හවස මනරම්. රමණීය දවස ඉස්තරම්. ඒ සීනි මුරුක්කු සොයා මා කරා ආව සහෘද පාඨක ප්‍රේක්ෂක ඔබ නිසා. ඔබේ කොන්දේසි විරහිත ප්‍රේමය නිසා.

තව දුරටත් මේ පොත මගේත්, මාධවීගේත් විතරක් නෙවෙයි.

අපි හැමෝගෙම !!!

 

 

ඉතිං කියවන්න, විඳගන්න, ඔබේ ඇත්තම අදහස්, රසාස්වාද, විචාර, චෝදනා, යෝජනා සියල්ල අකුරක් නෑර මට කියන්න. ඒවා මං අකුරක් නෑර කියවන්න මඟ බලාගෙන ඉන්නවා.

හෙට ඉඳන් පටන්ගන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේදි Sarasavi Bookshop (Pvt) Ltd හරහා සීනි මුරුක්කු පොත මිලදීගන්න, මේ රස ඔයාගෙ කරගෙන ගෙදර ගෙනියන්න පුළුවන්. ඔයා ආදරේම කෙනාට 'සදාකාලික සිහිවටනයක්' හැටියට සීනි මුරුක්කු පොත තෑගි කරන්නත් පුළුවන්. තව තව දේ ඔබ සිත් සේ කරත්වා !

තෙහෙට්ටුයි. ඇස් පියවෙනවා. අලුත් දවසක් උදාවෙලා. ඒත් මේ මහන්සිය හදවතට සමීපයි.

ප්‍රාණසම සිහිනයක් හැබෑවුණාම දැනෙන මේ සතුට ඇත්තටම සනීපයි !

- කසුන් මහේන්ද්‍ර හීනටිගල''

 

එහෙනම් අපිත් ඔබට ආරාධනා කරනවා, හෙටින් ඇරඹෙන පොත් වසන්තයේ ඔබේ පොත් එකතුවට 'සීනි මුරුක්කු' රහත් එක්කාසු කරගන්නා හැටියට....

 

 

 

views

442 Views

Comments

arrow-up