“සුබ උපන්දිනයක් වේවා” - 63 වැනි වියට පා තැබූ ලෝකයේ වයස්ගතම ඔරංඔටන් (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
21

“සුබ උපන්දිනයක් වේවා” - 63 වැනි වියට පා තැබූ ලෝකයේ වයස්ගතම ඔරංඔටන් (PHOTOS)

“සුබ උපන්දිනයක් වේවා” - 63 වැනි වියට පා තැබූ ලෝකයේ වයස්ගතම ඔරංඔටන් (PHOTOS)

බෙලාට දැන් 63ක්..

 

බෙලා (Bella) තමයි ලොව වයස්ගතම ඔරංඔටන් හැටියට ගිනස් පොතට ගිහින් ඉන්නෙ.

 

ඉතින් මේ ගෙවෙන්නේ බෙලාගේ උපන්දින සතිය.

 

1961 වසරේ දී උපත ලබා ඇති බවට සැලකෙන මේ ඔරංඔටන්, සුමාත්‍රා ඔරංඔටන් (Pongo abelii) වර්ගයට අයත් වන බව සඳහන්.

 

බෙලාව වනයෙන් වෙන්කරලා ජර්මනියේ හැම්බර්ග් හි හැගන්බෙක් සත්වෝද්‍යානයට (Hagenbeck Zoo in Hamburg, Germany) අරන් ඇවිත් තියෙන්නෙ 1964 වසරෙදී.

 

 

සාමාන්‍යයෙන් කැලෑ ඔරංඔටන් කෙනෙක්ගෙ ආයු කාලය සැලකෙන්නෙ අවුරුදු 35-40ත් අතර කාලයක්.

 

ඒ වගේම වනාන්තර වාසී නොවී වෙසෙන ඔරංඔටන් කෙනෙක්ගෙ ආයු කාලය වසර 50 ක් පමණ වන බවයි කියවෙන්නෙ.

 

නමුත් බෙලා මේ ගෙවන්නෙ 63 වන වසර.

 

ඒ අනුව 2021 වසරේ පටන් බෙලා ගිනස් වාර්තා අතරට යන්නේ ලොව වයස්ගතම ඔරංඔටන් (World’s oldest orangutan) හැටියට.

 

 

බෙලාට පෙර එම වාර්තාවට හිමිකම් කියා ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයේ ඔරිගන් සත්වෝද්‍යානයේ විසූ ''ඉන්ජි'' නම් සුමාත්‍රා ඔරංඔටන් කෙනෙක්.

 

ඉන්ජි බෙලාට වඩා අවුරුද්දක් වැඩිමල් බවත් සඳහන්.

 

 

ලෝක වාර්තාවක් එක්ක උපන්දිනය සැමරූ බෙලාට හරි අපූරු තෑග්ගක් සත්වෝද්‍යාන කාර්ය මණ්ඩලය විසින් ලබාදීලා තිබුණා.

 

ඒ, බත් සහ විවිධ පලතුරුවලින් සාදන ලද උපන්දින කේක් එකක් !

 

බෙලා තමන්ට ලැබුණු උපන්දින කේක් එක ඇය විසින් හදාගත් පැටවෙක් එක්ක මේ විදියට බෙදාගෙන තිබුණා.

 

 

වයස ඉක්මවා ගිය ද සත්වෝද්‍යාන කාර්ය මණ්ඩලය නම් සඳහන් කරන්නේ ඇය හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් ඉන්න බවක්.

 

සත්වෝද්‍යාන බලධාරීන් කියන හැටියට නම් බෙලා හරි අවංක සත්වයෙක්.

 

විචක්ෂණශීලී, කුතුහලයෙන් පිරි, බුද්ධිමත් අයෙක් ලෙස හඳුනාගැනෙන ඇය කිසිදා ආක්‍රමණශීලී නොවූ හරිම ආදරණීය අයෙක් බවයි කියවෙන්නේ.

 

සිය ජීවිත කාලය පුරාවටම ඇය පැටවුන් හයදෙනෙකු බිහිකර ඇති අතරම මව්වරුන්ගෙන් ප්‍රතික්ෂේප වුණු පැටවුන් හතර දෙනෙක්ටත් බෙලා මවක්වී තිබෙනවා.

 

ඒ නිසාම ඇය සත්වෝද්‍යාන‍යේ "සුපිරි අම්මා" ‍යන අන්වර්ථ නාමයෙනුත් පිදුම් ලබනවා.

 

කොහොම නමුත් වයසත් එක්ක බෙලාට දැන් ඉතිරිව ඇත්තේ සීමිත දත් ප්‍රමාණයක්.

 

ඒ නිසාම ඇයගේ ප්‍රියතම ආහාරය ‍රසවත් මී පැණි වැනි රසකාරකයක් සමඟ රස කළ කැඳ විශේෂයක් බව සඳහන්.

 

ඊට අමතරව මෘදු පලතුරු සහ එළවළු ද ඈ රස විඳියි.

 

 

ගිනස් වාර්තාවන්ට අනුව මෑත කාලීනව උපන් දිනයක් සැමරූ ජර්මනියේ වෙසෙන එකම පැරණි වානරයා බෙලා නෙවෙයි.

 

වනාන්තර වාසී නොවී වෙසෙන ලොව වයස්ගතම ගෝරිල්ලා වන ෆැටූ (Fatou) අප්‍රේල් 13 වන දින 67 වන වියට පා තබා තිබුණා.

 

1957 දී උපත ලද ෆැටූව වනයෙන් අල්ලාගෙන තියෙන්නෙ 1959 වසරේ දී.

 

 

views

109 Views

Comments

arrow-up