ලොවපුරා වඩාත් ජනප්‍රිය හඬකට පණදුන් නොබුයෝ ඔයාමා දිවිසැරිය නිමා කරයි

ලොවපුරා වඩාත් ජනප්‍රිය ජපන් සජීවීකරණ චරිතයක් වන "Doraemon" ගේ හඬට පණදුන් නොබුයෝ ඔයාමා (Nobuyo Oyama) අවසන් ගමන් ගොස් ඇති බව වාර්තා වනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඇගේ ආයතනය විසින් සඳහන් කර තිබුණේ මිය යන විට ඈ වයස අවුරුදු 90 පසුවුණු බවයි.
ඔයාමාගේ මරණය වයසත් සමඟ සිදුවූවක් බවත් සැබවින්ම ඇය මියගියේ සැප්තැම්බර් 29 වැනි දින වන නමුත් ඒ පිළිබඳව දැනුම් දීමට ප්‍රමාද වීම පිළිබඳව 'Actors 7' ඒජන්සිය සමාව ද අයැද තිබුණා.
ඇයගේ අවමංගල්‍ය උත්සවය සමීප ඥාතීන් සහභාගී වූ පෞද්ගලික අවමංගල්‍ය අවස්ථාවක් ලෙස පැවති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
හඬ ශිල්පිනියක ලෙස නොබුයෝ ඔයාමා වඩාත් ප්‍රසිද්ධ වූයේ, 1979 සිට 2005 දක්වා විකාශය වූ "Doraemon" රූපවාහිනී වැඩසටහන තුළිනි.
ගෝලීය වශයෙන් ජනප්‍රිය වූ එය ලොකු කුඩා කවුරුත් ආකර්ෂණය කළ චරිතයක් බව අවිවාදාත්මකය.
ටෝකියෝ හි උපත ලද ඔයාමා, Doraemon ට කටහඬ දීමට පෙර 1960 සිට 1967 දක්වා කාලයේ NHK හි රූකඩ සංදර්ශනයේ "Boo Foo Woo" හි භූමිකාවක් ද ඉටු කළ බව සඳහන්.
218 Views
Comments