“අවාසනාවන්ත දවසෙ තනි වාහනයක් වත් එහි තිබුනේ නැහැ...” - බොලිවුඩයේ රෝස පැටික්කි, “දිව්‍යා” ගැන වසර ගණනකට පසු ඇහෙන කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
19

“අවාසනාවන්ත දවසෙ තනි වාහනයක් වත් එහි තිබුනේ නැහැ...” - බොලිවුඩයේ රෝස පැටික්කි, “දිව්‍යා” ගැන වසර ගණනකට පසු ඇහෙන කතාව

“අවාසනාවන්ත දවසෙ තනි වාහනයක් වත් එහි තිබුනේ නැහැ...” - බොලිවුඩයේ රෝස පැටික්කි, “දිව්‍යා” ගැන වසර ගණනකට පසු ඇහෙන කතාව

කපුර් පෙළපතින් පැමිණි හැඩකාර පිරිමියෙකු වූ රිෂි කපුර්ට වයස අවුරුදු පනහේදීද ලැබුණේ පෙම්වතුන්ගේ චරිතයන්ය.

 

එයට හේතු වූයේ ඔහුගේ කාන්දමක් වැනි නෙත් කැල්ම සහ ගැහැනුන් වශී කළ මනමාලකමින් පිරුණු සොඳුරු සිනහවය.

 

1991 සහ 92 වසර තුළ වයස අවුරුදු 40 පසු කරමින් සිටියද රිෂිට වැඩිපුර ලැබුණේ වයස අවුරුදු 20 – 25 කොල්ලන්ගේ පෙනුමට තැනූ පෙම්වතුන්ගේ චරිතයන්ය. ඒවා කිසිදුම ගේමක් නැතිව බොක්ස් ඔෆිස් වාර්තාවන්ද පිහිටු වූයේය.

 

ළා කෙල්ලන් සමග රිෂි රඟන රොමැන්ටික් ෆිල්ම් වාර්තා පිට වාර්තා තබන විට බොහෝ අධ්‍යක්‍ෂවරු බෝනික්කියන් වැනි ළපටි කෙල්ලන් යොදා රිෂි සමග එක්ව උතුරු ඉන්දීය චිත්‍රපට නිර්මාණය කරන්නට උමතුවෙන් මෙන් දැඟලූහ. රාජ් කන්වර්ද ඉන් එක් අයකු විය. රිෂි කපුර් සමග අලුත් තාලේ ළපටි පන්නයේ කෙල්ලක හඳුන්වා දෙමින් පෙම් රස වෑහෙන රොමැන්ටික් චිත්‍රපටයක් කරන්නට රාජ් අලංකාර තිර පිටපතක්ද සැකැසුවේය. චිත්‍රපටය ‘Dewanaa’ විය.

 

රිෂි කපුර් සමග එවකට කෝඩුකාර නළුවකු වූ ෂාරුක් ඛාන්ද එහි ප්‍රධාන චරිතයකට මැදිව සිටියේය. තුන්කොන් පෙම් පලහිලව්වක කෙල්ල ලෙස රඟන්නට තෝරාගෙන තිබුණේ, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බෝනික්කියක සේ සුන්දර වූ ‘දිව්‍යා භාරතීව’ය. ඇගේ මීන දෙනෙත, රෝස පෙතිවන් දෙකොපුල්, නා දලු දෙතොල්, මිටින් ගතහැකි ඉඟසුඟ… කවියන් වර්ණනා කළ නාරිලතා රූපයකට වැඩිය හැඩකාර විය. ඒ සියල්ලටම වැඩිය රිෂි සහ ෂාරුක් සමග දිව්‍යා රඟපෑ පෙම් ජවනිකා… අති සුමධුර විය. එක රැයින් ඈ උතුරු ඉන්දියානු පිරිමින්ගේ සදාතනික සිහින කුමරිය වූයේ, රාජ් කන්වර් සිතූසේම ‘Dewanaa’ චිත්‍රපටය සියලුම ආදායම් වාර්තාවන් බිඳ හෙළද්දීය.

 

දිව්‍යාගේ රූ සපුව තම නවතම චිත්‍රපට වෙනුවෙන් අලෙවි කරන්නට ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරුන් එක පොරයට වලිකන විට දිව්‍යා ඒ සියල්ල දෙස බලා සිටියේ කිසිදු ඉන්දීය නිළියක සමග තමාට තරගයක් අවැසි නැතැයි සිතමිනි… ඇත්තෙන්ම දිව්‍යා භාරතී යනු පාඩුවේ තම ගමන ගිය අහිංසකාවියක විය.

 

නිතරගයෙන්ම වාගේ ‘Dewanaa’ චිත්‍රපයටත් සමගම දිව්‍යාගේ දිනපොත අසුරු සැණින් පිරී ගියේ ඇයටවත් අදහන්න බැරි ලෙසිනි. දින නියම කර ගත් දිව්‍යා රඟන චිත්‍රපට සඳහා ඇඳුම් – පැලඳුම්ද නිර්මාණය විය.

 

සත්තකින්ම බොළඳ බවින් අනූන ළා බාල සුන්දරියක වූ දිව්‍යා හීන දහසකුත් එකක් මැද සිය අනාගතය සැලසුම් කරන්නට විය. ජීවිතය කෙතරම් නම් නොසිතූ විරූ අභාග්‍යසම්පන්න දෑ අප වෙත ගෙන එන්නේ දැයි යන අකාරුණික කියමන මොනවට පසක් කරමින් දිව්‍යා භාරතී තම නිවෙසේම බැල්කනියෙන් ඇදවැටී මියගියාය.

 

ඇගේ මරණය අබිරහසක්ද..?


ඔව්… තවමත් එය එහෙමමය.., වසර 31ක් ගෙවී ගියද දිව්‍යා භාරතීගේ මරණය තවමත් නොවිසඳුණු අබිරහසකි. මියයන විට වයස අවුරුදු දහනවයක තරුණ කෙල්ලක වූ දිව්‍යාගේ මරණය ගැන බොහොමයක් වූ කුමන්ත්‍රණ සහ කටකතා පැතිර ගියේය. අදටත් මාධ්‍ය පැපරාසින් පවසන්නේ ඇගේ මරණය ඉතාම සැලසුම්සහගතව සිදුවූ වගකි.

 

ඒ කියන්නේ සජීබ් නදියවාලා මීට සම්බන්ධව කොහේ හෝ කොනක සිටින්නේද? ඇතැමුන් කියන්නේ එහෙමය.

නමුත්..,
දිව්‍යා භාරතීගේ මරණය වෛද්‍යවරුන් සජීබ් නදියවාලා හමුවේ ප්‍රකාශ කරන විට ඔහු මානසික ආතතියකට පත්ව සිටි බව ආරංචි මාර්ග පවසා තිබිණි. තද වෙව්ලීමක් සමග දැඩි කම්පාවකට මැදිව සිටි හෙතෙම සදාකාලික ‘කෝමා’ තත්ත්වයකට බඳුන් වීමට ආසන්නව සිටි වග වෛද්‍ය මඬුල්ල විසින් පොලිසියටද පවසා තිබූ බව කියැවේ.

 

යම්… ආරවුලක් මත සජීබ් දිව්‍යාව සඳැල්ලෙන් පහළට තල්ලු කළා වන්නට බැරිද..?


දිව්‍යාගේ මරණය මොහොතේ ඈ සමග කාලය ගෙවා ඇත්තේ ප්‍රවීණ මෝස්තර නිරූපණ ශිල්පිනී නීතා ලුල්ලා සහ ඇගේ සැමියාය. ඔවුන් දිව්‍යාගේ නවතම චිත්‍රපටය සඳහා කොස්ටියුම් සකසමින් සිටි අතර, ඔවුන් අතර හීනියට මත්පැන් සාදයක්ද පැවැත්විණි. යම් මොහොතක තමා දිව්‍යා කෙහේදැයි බලන විට ඈ සඳැල්ලෙහි දාරය මත සිටගෙන උන් බව දැක තමාට මහා කම්පනයක් දැනුණු වග නීතා ලුල්ලා පවසා තිබූ අතර, හදිසියේම දිව්‍යා අඩි ශබ්දය දෙස හැරී බලන කල ඇගේ සමබරතාවය නැතිව ගිය බවද නීතා තව වැඩිදුරටත් කීවාය.

 

එහි සත්‍යතාවයක් වේද..?


දන්නේ කවුදැයි එය, සියල්ල දන්නේ මියගිය දිව්‍යා සහ උඩ ඉන්න දෙවියන් පමණය. සජීබ් නදියවාලා සිය තරුණ බිරියගේ මත්පැන් වීදුරුව ඕනෑ කමින් පුරවා ඇයගේ පියවි සිහිය තුරන් කොට දිවි නසා ගැනීමට සැලැස්ස වූ බවටද එවකට රාවයක් තිබුණා මතකය.

 

එහෙම වූවා නම් සජීබ් වැනි හොඳ ප්‍රතිරූපයක් හෙබි තරුණ සැමියකු බිරියගේ මරණය අසා ආතතියට බඳුන් විය හැකිද?

 

හදිසි කෝපයට යම් දරුණු ක්‍රියාවක් කොට මනස්ථාප වන මිනිසුන් කොයිතරම් ඉන්නවාද..?

 

අනෙක… සජීබ්ගේ රෝගී තත්ත්වය ගැන තවත් කිසිවකු කීයේ…දිව්‍යාගේ දෙණට ගිනි දැල්වීමේ දසුනට මුහුණ දීමට බැරි නිසා ඔහු වහං වී සිටි බවය… එලෙසම දිව්‍යා සජීබ් නදියමාලාගේ බිරිය වුවද සජීබ් හෝ ඔහුගේ පවුලේ වෙනත් කිසිවකු ඇගේ අවමංගල්‍ය සඳහා සහභාගි වී නොසිටීම කදිම විහිළුවක් බවය.

 

කෙසේ වුවද, සියල්ල සිදුවී අවසානය..,


දිව්‍යාගේ කම්පිත මරණය වෙනුවෙන් ප්‍රසිද්ධියේ කඳුළු සලා හැඬූ ෂාරුක් කියා සිටියේ,

සිහින බොහොමයක් සමග ජීවත් වන්නට බලා සිටි සිහින කුමරියකව ඉතා අඩු වයසෙන් හොරු අරගෙන ගිය බවකි… කූපර් රෝහල තුළ දිව්‍යා වෙනුවෙන් ෂාරුක් නිදිමරමින් සිට ඇත්තේ අන්තිම මොහොතේ හෝ සුබ ආරංචියක් තමා වෙත ලැබේය යන සැකය සමග යැයි ඔහු පුවත්පතකට පවසා තිබිණි. දිව්‍යා භාරතී සිනමාවට පැමිණි විට ඇතැම් විචාරකයන් ඇයව ‘මීනා කුමාරිට’ සමකොට තිබිණි.

 

1993 අප්‍රේල් 05 වැනි දින දිව්‍යා භාරතී මියගියාය. අප්‍රේල් 7 වැනිදා ඇගේ දෙණ හින්දු චාරිත්‍රයන්ට අනුව ගින්නෙන් ආලෝකමත් විය. අදට දිව්‍යා මියගොස් වසර 31කි. ඇයගේ මරණය තවමත් අබිරහසකි…


උපුටා ගැනීමකි 

views

291 Views

Comments

arrow-up