සබන් ගා නෑමෙන් පසු සතියක් ගෙදර ඉන්න වෙලා
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
12

සබන් ගා නෑමෙන් පසු සතියක් ගෙදර ඉන්න වෙලා

සබන් ගා නෑමෙන් පසු සතියක් ගෙදර ඉන්න වෙලා

විදුලිය විසන්ධිකර තිබුණු රාත්‍රියේ දිය නෑමට ගිය සැමියාට සිරුරේ ගාන සබන් කෑල්ල වෙනුවට වැරදීමකින් පිඟන් භාණ්ඩ සෝදන සබන් ගෑමෙන් සිරුර පුරා කැසීමට ලක්වී වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට සිදුවීමේ පුවතක් මීරිගමට නුදුරු ගම්මානයකින් අසන්නට ලැබේ. 

 


රජයේ ආයතනයක උසස් තනතුරක් දරන සැමියා නිවසට එද්දී රෑ බෝවී තිබිණි. 

 

රජයේ රැකියාවක නියතු බිරිඳ සිටියේ කුස්සියේ වැඩ කරමිනි. විදුලිය නැති නිසා ඇය ආලෝකය ලබාගත්තේ ඉටි පහනක ආධාරයෙනු වූ අතර නිවසේ වූයේද එක් ඉටි පහනක් පමණකි. 


“දැන් කරන්ට් එක එයිනේ ඒ නිසා මම ඉටිපන්දමක් ගේන්න කඩේට ගියේ නෑ.” බිරිය සැමියාට කීවාය. 


නිවසට ආ සැමියා දරු දෙපළ සමඟ කාලය ගත කර දිය නෑමට වත්ත පහළ ළිඳට යාමට සැරසුණේ කළුවරේමය. 

 

“අනේ මට සබන් කෑල්ල ගෙනත් දෙන්නකෝ” සැමියා ඉල්ලු‍වේය. බිරිය සබන් කෑල්ල ගෙනවිත් අතට දුන්නාය. වත්ත පහළ ළිඳට ගිය සැමියා දිය නෑවේය. සබන් ගාද්දී වෙනසක් දැනුණත් කළුවර නිසා කිසිත් පැහැදිලි වූයේ නැත. 

 


ඉක්මන් ගමනින් දිය නා නිවසට පැමිණි ඔහු සබන් කෑල්ල බාල්දිය සමඟම තැබීය. ටික වේලාවකින් සිරුර පුරා කසන්නට වූ අතර ඔහු ඒ බව බිරියටද කීවේය. 

 

“පණුවෙක්වත් ගෑවෙන්න ඇති” යැයි ඇය කීවාය. 


එහෙත් කැසිල්ල අඩුවක් නැත. මෙසේ කල් ගත වෙද්දී විදුලිය ලැබිණි. 


රෑ ආහාර ගැනීමෙන් පසු බිරිඳ කුස්සියේ කටයුතුවල යෙදුණාය. 

 

පිඟන් සෝදන්නට ගිය ඇය ඒ සඳහා ගන්නා සබන් කැටය දක්නට නොවූයෙන් විමසිලිමත් වූවාය. අනේ ඔයා සබන් කෑල්ල තිබ්බේ කොහේද ඇය ඇසුවාය. 


බාල්දියේ බලන්න සැමියා කීවේය. බාල්දිය පිරික්සූ ඇයට සැමියාගේ කැසිල්ලට හේතුව තේරුම් ගියේය. 


වහා  ආ ඇය කිසිත් නොකියා සැමියා සමඟ වෛද්‍යවරයෙකු ළඟට ඔහුව කැඳවාගෙන ගියාය. සැමියාගේ කැසිල්ල ගැන වෛද්‍යවරයාට කී ඇය ඊට හේතු වන්නට ඇත්තේ තමන්ට වූ වැරදීම නිසා වන්නට ඇතැයිද කියද්දී සැමියාට සිදුවූ සියල්ල තේරුම් ගන්නට ලැබිණි.

 

කෙසේ හෝ බිරියට සිදුවූ අත්වැරැද්ද නිසා සැමියා පුරා සතියක් තිස්සේ වෛද්‍ය ප්‍රතිකාර ලැබීය. ඒ හේතුවෙන් දින දෙක තුනක් රාජකාරියට යාමෙන්ද වැළකී සිටියේය. 

views

658 Views

Comments

arrow-up