හිතුණ හිතුණ විදිහට ආයුධ පෙන්නන්න පුළුවන්ද? මෙන්න නීතිය - දන්නෙ නැති අය බලාගන්න

"පොලිස් අත්අඩංගුවට පත්වන සැකකරුවන් විමර්ශන කටයුතු සඳහා ආයුධ පෙන්වීමට පිටතට රැගෙන යන අවස්ථාවල දී පළායාමට තැත් කළේයැයි වෙඩි තබා මරණයට පත්කිරීමේ සිද්ධීන්" අවම කිරීම සඳහා ගත යුතු මාර්ගෝපදේශන මාලාවක් පොලිස්පතිවරයා විසින් සකස්කර ඉදිරිපත්කර ඇති බවට නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඊයේ (03) දැනුම් දෙන ලදී.
ඉකුත් පෙබරවාරි මස 05 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙසේ මාර්ගෝපදේශන මාලවක් සකස් කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කර තිබුණේ, 2008 වසරේ කොම්පඤ්ඤවීදිය පොලිස් අත්අඩංගුවේ සිටි මොහොමඩ් ඉර්ෆාන් නැමැති සැකකරුවෙකු විමර්ශන කටයුතු සඳහා පිටතට රැගෙන ගිය අවස්ථාවේ දී පළායාමට තැත් කළේ යැයි වෙඩි තබා ඝාතනය කිරීමට එරෙහිව, ඔහුගේ බිරිඳ වන ෆාතිමා ෂර්මිලා විසින් ඉදිරිපත් කළ පෙත්සමක තීන්දුව ලබා දෙමින්ය.
මෙවැනි සිදුවීම් අනාගතයේ දී ඇතිවීම වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස්කර පෙබරවාරි මස 24 වනදා අධිකරණය හමුවේ ගොනුකරන ලෙස මේ අනුව පොලිස්පතිවරයාට දැනුම් දෙන ලද නමුත්, එම පෙත්සම පෙබරවාරි මස 24 වනදා කැඳවනු ලැබූ අවස්ථාවේ දී අදාළ මාර්ගෝපදේශ මාලාව අධිකරණයට ඉදිරිපත්කර නොතිබිණි.
ඒ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඊයේ දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා, එදින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයා වෙත නොතීසි නිකුත් කරනු ලැබූ අතර, ඒ අනුව ඊයේ දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටි පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ අදාළ මාර්ගෝපදේශ මාලාව කෙටුම්පත්කර අධිකරණය හමුවේ මේ වන විටත් ගොනුකර ඇති බවයි.
පොලිස්පතිවරයා විසින් කෙටුම්පත් කරන ලද මාර්ගෝපදේශ මාලාව පහත පරිදි වේ.
01) අත්අඩංගුවට ගනු ලබන සැකකරුවකුගේ ජීවිතය ආරක්ෂා කිරීම පොලිස් නිලධාරීන්ගේ ප්‍රමුඛ වගකීමක් විය යුතු අතර, ස්වභාවික අසනීපයක් වැනි අවස්ථාවල දී පවා ඔවුන්ගෙන් තොරතුරු විමසා රෝහල්ගතකර අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කළ යුතුය.
02) සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින්, මත්ද්‍රව්‍ය, මිනීමැරුම්, ත්‍රස්තවාදී කටයුතු වැනි භයානක අපරාධ සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවා තැබීමේ දී ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
03) එවැනි සැකකරුවන් අත්අඩංගුවේ සිටින අවස්ථාවල දී ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට වගබලා ගත යුතු අතර, සෑම පැය භාගයකට වරක්ම සැකකරු පිළිබඳව පරීක්ෂා කර උප සේවා නිලධාරියා විසින් ඒ පිළිබඳව සටහන් යෙදිය යුතුය.
එවැනි සැකකරුවකු පිටතට රැගෙන යාමට අවශ්‍ය අවස්ථාවේ දී ඒ පිළිබඳව දිස්ත්‍රික් භාර සහකාර පොලිස් අධිකාරීවරයා දැනුවත් කර ඊට අවශ්‍ය උපදෙස් ලබාගත යුතුය.
04) අවශ්‍ය කරුණක දී හැර සැකකරුවන් පිටතට රැගෙන නොයාමට වගබලා ගත යුතු අතර, එසේ පිටතට රැගෙන යන්නේ නම් ඒ පිළිබඳව නිශ්චිතව සටහන් විය යුතුය.
05) අවි ආයුධ උදුරාගැනීමට තැත් කිරීමේ සිද්ධීන් හා සැකකරුවන් පැනයාමේ සිද්ධීන් වැළැක්වීමට උපරිම ක්‍රියාමාර්ග ගත යුතු අතර, එසේ කිරීමට නොහැකි වන පරිදි සැකකරු සුදුසු වාහනයක් තුළ, සුදුසු ස්ථානයක ස්ථානගත කිරීමට ද වග බලා ගත යුතුය.
06) ගිනි අවි සහ අත්බෝම්බ සඟවා ඇති ස්ථානවලට සැකකරුවන් රැගෙන යන අවස්ථාවලදී අත් විලංගු ලා රැගෙන යාමට නිලධාරීන් වගබලා ගත යුතු අතර, සැකකරුගේ මඟපෙන්වීම මත නිලධාරීන් විසින් අදාළ සෝදිසිය සහ පරීක්ෂාව සැකකරු ඉදිරියේ සිදුකළ යුතුය.
07) එවැනි සෑම අවස්ථාවකදීම වීඩියෝගත කිරීමට නිලධාරීන් වගබලා ගත යුතු අතර, එවැනි වීඩියෝ දර්ශන සැකකරුවකුට එරෙහිව සාක්ෂියක් වශයෙන් ද යොදා ගැනීමට හැකියාව පවතින අතර යම් සිදුවීමක් ඇති වුණහොත් එහි විනිවිදභාවය ආරක්ෂා කිරීමටත් වැදගත් වේ.
08) කිසිදු අවස්ථාවක සැකකරුවකු කායිකව හෝ මානසිකව වධ හිංසනයට භාජනය නොවීමට වග බලා ගත යුතු අතර, පාපොච්චාරණයන් ලබාගැනීම සඳහා තර්ජනය කිරීම, පෙළඹවීම හා පොරොන්දු ලබාදීම වැනි ක්‍රියා නොකිරිමට වග බලා ගත යුතුය.
09) සැකකරුගේ ළඟම ඥාතීන්ට හා නීතිඥවරයාට අවශ්‍ය අවස්ථාවල දී ඔහු හමුවීමට ප්‍රවේශය ලබාදීමට කටයුතු කළ යුතුය.
10) පොලිස් විමර්ශනවලට බාධා නොවන පරිදි ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට උපරිම සහාය ලබා දිය යුතුය.
අත්අඩංගුවට පත් සැකකරුවෙකු මියගිය අවස්ථාවක දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය ද අදාළ මාර්ගෝපදේශ මාලාවේ ඇතුළත් කර තිබේ.
01) අත්අඩංගුවේ දී යම් පුද්ගලයෙකු මියගිය අවස්ථාවක, ඒ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයකට ලක් කළ යුතු වේ.
02) පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවකු මියගිය අවස්ථාවකට අදාළ විමර්ශනය අවස්ථානුකූලව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, පළාත භාර නියෝජ්‍ය පොලිස්පති හෝ කොට්ඨාශය භාර අධීක්ෂණ නිලධාරියාගේ අධීක්ෂණය යටතේ සිදුකළ යුතුය.
03) එවැනි විමර්ශනයක් සිද්ධිය වූ පොලිස් ස්ථානයෙන් පරිබාහිර වෙනත් පොලිස් ස්ථානයක නිලධාරීන් යොදවා සිදුකළ යුතුය.
04) මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් සැකකරුගේ ළඟම ඥාතීන්ගෙන් හා බාහිර පාර්වශ්යන්ගෙන් හැකිතාක් ස්වාධීන සාක්ෂි සටහන් කරගැනීම වැදගත් වේ.
05) එවැනි සිදුවීමක දී යම් නිලධාරියෙකුගේ රාජකාරිය පැහැර හැරීමක් වැනි කරුණක් අනාවරණය වුවොත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කටයුතු කළ යුතු අතර, එවැනි අවස්ථාවක අදාළ සිද්ධිය පිළිබඳව පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරු තමන් යටතේ තිබෙන විශේෂ විමර්ශන ඒකකය මඟින් වහාම පරීක්ෂණ ආරම්භ කළ යුතුය.
06) සිද්ධියේ සංකීර්ණභාවය මත අදාළ විමර්ශනය පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මගින් සිදුකළ යුතු බවට පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් තීරණය කරන අවස්ථාවක අදාළ විමර්ශනය නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිර්දේශය ද සහිතව පොලිස්පතිවරයා වෙත යොමු කළ යුතුය.
07) මින් ඉදිරියට පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් පිටතට විමර්ශන කටයුතු සඳහා රැගෙන යාමේ දී මෙම උපදෙස් මාලාව අනුව කටයුතු කිරීමට නිලධාරීන් වගබලා ගත යුතුය.
මෙම උපදෙස්වලට පටහැනිව යම් නිලධාරියෙකු කටයුතු කර ඇති බවට අනාවරණය වුවහොත්, ඔහුට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස්පතිවරයා විසින් දිවයිනේ සියලු පොලිස් ස්ථානවලට නිකුත්කර තිබෙන මෙම මාර්ගෝපදේශ මාලාව තුළ අවධාරණය කර තිබේ.
382 Views
Comments