මැති ඇමතිලාට පාර්ලිමේන්තුවේදී ලැබුණු “බුෆේ” එකත් නවතියි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, එහි සේවකයන්ට සහ පාර්ලිමේන්තුවට පැමිණෙන අමුත්තන්ට පෝෂණය සහිත අඩු වියදම් ආහාර වේලක් ලබාදීම කෙරෙහි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.
ආහාර බෙදාගෙන කෑමේ(බුෆේ) ක්‍රමය වෙනුවට අඩු වියදමකින් සැකසුණු බත් පාර්සලයක් ලබාදීමේ හැකියාව ගැනද කතානායකවරයා කරුණූ සොයා බලා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
කතානායකවරයා මේ කාරණය කෙරෙහි අවධානය යොමු කර ඇත්තේ රටේ ආර්ථික තත්වය සහ පාර්ලිමේන්තුවේ ලබා දෙන ආහාර වේල සම්බන්ධයෙන් සමාජයෙන් මතුවී ඇති විවිධ චෝදනා සැලකිල්ලට ගෙනය.
කතානායකවරයා මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් දැනටමත් කරුණු විමසා ඇතැයිද දැනගන්නට ඇත.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 53 දෙනෙක් පාර්ලිමේන්තුවෙන් ලබා දෙන ආහාර වේල අත්හිටුවන්නැයි කතානායකවරයාට ලිපියක් බාර දෙමින් පසුගියදා ඉල්ලීමක් කළහ.
මේ අනුව එම මන්ත්‍රීවරුන්ගේ දිවා ආහාර වේල ඊට පසු දින සිටම නතර කිරීමට පියවර ගත් කතානායකවරයා ඒ බව පාර්ලිමේන්තුවටද දැනුම් දුන්නේය.
සෙසු මන්ත්‍රීවරුන්ට ලබා දෙන ආහාර වේල සම්බන්ධයෙන් මීළඟ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණයක් ගන්නා බව කතානායකවරයා පැවසීය.
මේ අතර පාර්ලිමේන්තුව වැඩිම වියදමක් දරන්නේ මන්ත්‍රීවරුන්ගේ සේවකයන්ගේ සහ අමුත්තන්ගේ ආහාරපාන සඳහා බව එහි ආරංචි මාර්ගවලින් පැවසේ.
ආහාරපාන සඳහා වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් කෝටි 12 ක් බව එහි මූල්‍ය අංශය පවසයි.
621 Views
Comments