මහ බැංකුවෙන් ආර්ථිකයට සහතිකයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
30

මහ බැංකුවෙන් ආර්ථිකයට සහතිකයක්

මහ බැංකුවෙන් ආර්ථිකයට සහතිකයක්

මුදල් අමාත්‍යාංශය විසින් 2022 මැයි 20 සිට බලපැවැත්වෙන පරිදි, කොන්දේසිවලට යටත්ව විවෘත ගිණුම් ගෙවීම් නියමයන් හෝ තොග ගිණුම් නියමයන් භාවිතය සීමා කරමින් ආනයන පාලන රෙගුලාසි පනවනු ලැබුවා.

ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය විසින් මෙම පියවර ක්‍රියාත්මක කරනු ලැබුවේ මෙරට බැංකු පද්ධතියේ විදේශ විනිමය ද්‍රවශීලතා තත්ත්වයන් වැඩිදියුණු කිරීම සඳහායි.

කෙසේ වෙතත් මෙම ගෙවීම් කොන්දේසි හේතුවෙන් රට තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල විශාල හිඟයක් ඇති විය හැකි බවට වෙළඳ ප්‍රජාව සිදු කළ අනතුරු ඇඟවීම් පිළිබඳව මහ බැංකුව සිය දැඩි අවධානය යොමු කරමින් සිටින බව අද මහ බැංකුව නිකුත් කළ වාර්තාවක සඳහන්.

මෙවන් පසුබිමක් යටතේ, ඉදිරි කාලසීමාව තුළ ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා බැංකු පද්ධතිය තුළින් විදේශ විනිමය ලබා ගැනීමේ හැකියාව සහතික කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව සිය කැපවීම සහතික කිරීමට කැමැත්තෙන් සිටින බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.

 

එමෙන්ම පනවා ඇති ගෙවීම් කොන්දේසි සීමාවන් නිසා ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති නොවීමටත්, ඒවා ආනයනයට කිසිදු බාධාවක් ඇති නොවන බවටත් සහතික කිරීම සඳහා සකස් කර ඇති විධිවිධාන ගණනාවක් පිළිබඳව මහ බැංකුව නිකුත් කළ මෙම වාර්තාවේන් අවධාරණය කරනවා.

 

ඒ අනුව මහ බැංකුව පවසන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා පහසුකම් සැලසීම සහතික කිරීම සඳහා මහ බැංකුව බැංකු ප්‍රජාව සමඟ අඛණ්ඩ සංවාදයක නිරත බවයි.

 

එමෙන්ම ගෙවීම් නියමයන් මත පනවා ඇති විනිමය අනුපාත නිර්ණය කිරීමේ නව යාන්ත්‍රණය හඳුන්වාදීමෙන් අනතුරුව ඩොලර් කළු කඩ වෙළඳපළ ක්‍රියාකාරිත්වය සැලකිය යුතු ලෙස පහත වැටුණු බවත් මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

 

මෙහි ප්‍රතිඵලයක් ලෙස විදේශ විනිමය බැංකු පද්ධතියට ගලා ඒම නිසා බැංකු පද්ධතියේ විදේශ විනිමය ද්‍රවශීලතා තත්ත්වයන් ඉහළ ගොස් ඇති බව මහ බැංකුව අවධාරණය කරනවා.

 

එමෙන්ම මෙම ගම්‍යතාව ඉදිරි කාලසීමාව තුළ ද අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර ම එමඟින් 2022 මාර්තු මාසයේ සිට සිදු වූ විනිමය අනුපාතිකය ඉක්මවා යාමේ නිවැරදි කිරීම් වේගවත් වනු ඇති බවටත් මහ බැංකුව පුරෝකථනය කරනවා.

 

ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විටත් අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමේ යෙදී සිටින ව්‍යාපාරිකයින් සහ වෙළඳ සංගම් ඇතුළු අනෙකුත් පාර්ශ්ව සමඟ මේ වන විටත් පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බවත් එම නිවේදනයේ සඳහන්.

 

ඒ අනුව දැනටමත් අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග තිබේද යන්න සහ ඒවායේ මාසික අවශ්‍යතාවය හඳුනාගැනීම සඳහා වෙළඳ අමාත්‍යාංශය, පාරිභෝගික කටයුතු අධිකාරිය සහ ශ්‍රී ලංකා රේගුවේ සහභාගීත්වයෙන් මූලික තක්සේරුවක් සිදු කෙරෙන බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

 

එමෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය තව දුරටත් තමන් කළු කඩ ඩොලර් සමග වෙළෙඳපොළ ක්‍රියාකාරකම්වල නොයෙදෙන බවටත් මෙම අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් හමුවේ උපරිම සහයෝගය ලබා දෙන බවත් මෑතකාලීන සාකච්ඡාවලදී මහ බැංකුවට සහතික වී ඇති බවටත් එම නිවේදනයේ දැක්වෙනවා.

 

එලෙසම අපනයනකරුවන්ට ඔවුන්ගේ අපනයන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී සහ ඔවුන්ගේ අපනයන ආදායම භාණ්ඩ ගිණුම් කොන්දේසි යටතේ ගෙවීම් සිදුකිරීම සඳහා ඔවුන්ට පහසුකම් සැලසීමට දැනටමත් ක්‍රියාමාර්ග ගනිමින් පවතින බවත් මෙම අපනයනකරුවන් සඳහා සපයන සහ විදේශ මුදලින් ගෙවීම් ලබන දේශීය සැපයුම්කරුවන්ට ද එම පහසුකම කොන්දේසි යටතේ ලබාදී ඇති බවත් එම නිවේදනයේ සඳහන්.

 

මෙම අභියෝගාත්මක තත්ත්වයන් යටතේ වගකීමෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව වෙළඳ ප්‍රජාවගෙන් සහ සාමාන්‍ය ජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින අතරම වෙළෙඳ ප්‍රජා මට්ටමින් ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ඕනෑවට වඩා ආනයනය කිරීම සහ තොග ගොඩගැසීම මෙන්ම පාරිභෝගික මට්ටමින් ඒවා ඕනෑවට වඩා මිල දී ගැනීමෙන් වළකින ලෙසත් ඉල්ලා සිටිනවා.

views

868 Views

Comments

arrow-up