වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

වස් පවාරණය කොට කඨින චීවර පූජාව සිදුකරණ පොහොය දිනය ලෙස සැලකෙන වප්පුර පසලොස්වක පොහොය දිනය මෙරට බෞද්ධ ජනතාවට ඉතා වැදගත් පොහොය දිනයක් ලෙස සැලකේ.
බුදුන් වහන්සේ තවුතිසා දෙව්ලොවින් දඹදිව සංකස්ස නුවරට වැඩමකරවීම සිදු වූයේ ද අද වැනි පොහොය දිනකය.
බුද්ධත්වයෙන් සත්වන වස, තව්තිසා දෙව්ලොවෙහි වස් විසූ බුදුරජාණන් වහන්සේ මාතෘ දිව්‍ය රාජයාට විජම් බණ දේශනා කර රන් ඉනිමඟක් මතින් පෙළහර පා දඹදිව, සංකස්ස පුරට වැඩම කළේ ද වප් පුර පසළොස්වක පොහෝ දිනකදීයි.
බුදුරදුන්ගේ මෙම දෙව්ලොව චාරිකාව පිළිබඳ විස්තර දේවාවරෝහණ වර්ණනාවෙහි සඳහන් වනවා.
එදිනම සැරියුත් හිමියන් ප්‍රඥාලාභී භික්‍ෂූන් අතර අග්‍රස්ථානය ලැබීම ද විශේෂත්වයක්.
අද වැනි වප් පුර පසළොස්වක පොහොය දිනකදී සංඝමිත්තා මහ රහත් තෙරණියන් වහන්සේත් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවකුත් මෙරට වැඩම කිරීමට අවශ්‍ය බව දන්වන සංදේශය රැගත් අරිට්ඨ කුමරු සහ රාජකීය දූත පිරිස දඹදිව පැළලුප් නුවරට පිටත් කර යවා තිබෙනවා.
සංදේශය ලබා ගත් අශෝක රජතුමා මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ උපදෙසින් බුද්ධ අධිෂ්ඨානය සිහි ගන්වා බෝ සමිඳුන්ගෙන් වෙන්වුණු දක්‍ෂිණ ශාඛාව මුල් සියයක් අද්දවමින් රන් කටාරමෙහි පිහිටියේ අද වැනි පින්බර වප් මහේ පුර පසළොස්වක පොහොය දිනකදී.
ලංකා ශාසන ඉතිහාසයේ වැදගත් සංදිස්ථායන් වන මහාරිෂ්ඨ මහ රහතන් වහන්සේ විසින් විනය පිටකය සංඝායනා කිරීම අද වැනි වප් පුන් පොහෝ දිනක සිදු වූ බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වන්නේ.
751 Views
Comments