නිවසට ගෙනා මළ සිරුර මාරු වෙලා - සිරුර මාරු වී ඇත්තේ රෝහලේදී

පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව නිවසට රැගෙන එන ලද මෘතදේහයක් වෙනත් පුද්ගලයකුගේ බවට හඳුනා ගැනීමේ අපූරු පුවතක් මොණරාගල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
මොණරාගල ඇතිලිවැව, වෙහෙරයාය ප්‍රදේශයේ පදිංචි K. L ඥාණතිලක නමැති වයස අවුරුදු 55 ක් වන දෙදරු පියකු පසුගිය 09 වනදා සිය නිවසේ ළිඳට වැටී මිය ගොස් තිබුණා.
ඉන් අනතුරුව කුඩාඔය පොලිසිය විසින් ඔහුගේ මළ සිරුර වැල්ලවාය මූලික රෝහලට ගෙනවිත් එහිදී PCR පරීක්ෂණයක් සිදු කර පසුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත පසුගිය 10 වන දා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට සිරුර යවා තිබෙනවා. ඒ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහායි. ඉන් අනතුරුව මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ දී මරණ පරීක්ෂණය සිදුකර පසුගිය 13 වනදා රාත්‍රියේ නිවසට රැගෙන එන ලද ඔහුගේ සිරුර ඔහුගේ නොවන බවට ඥාතීන් විසින් හඳුනා ගෙන තිබුණා.
සිරුරේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර ඇත්තේ මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ නිලධාරී H. R. N යාපා මහතා විසින්. ඉන් අනතුරුව රෝහලේ සුළු සේවා පරිපාලකවරයා විසින් ඥාතීන් වෙත මෘතදේහය භාරදී තිබෙනවා. පසුව ඥාතීන් මෘතදේහය වැල්ලවාය නගරයේ මල් ශාලාවකට බාරදී ඇති අතර එදින මල් ශාලාව මගින් මෘතදේහය එම්බාම් කොට මධ්‍යම රාත්‍රියේ දී මෘත දේහය නිවසට ගෙනවිත් භාරදී තිබෙනවා.
මියගිය තැනැත්තාගේ දියණිය නිවසට බාර දුන් දේහයේ උඩු රැවුලක් තිබෙන බව දැක තමාගේ පියා කිසිදිනක උඩු රැවුලක් වවා නොමැති බව සඳහන් කරමින් එම දේහය තම පියාගේ නොවන බව පවසා තිබෙනවා. ඉන් අනතුරුව ඥාතීන් විසින් මෘත දේහය පරික්ෂා කර ඇති අතර එය අදාළ තැනැත්තාගේ නොවන බව ඔවුන්ට ද නිශ්චිත වශයෙන්ම හඳුනාගෙන තිබෙනවා.
පසුව මේ පිළිබඳව කුඩාඔය පොලිසියට දැනුම් දී ඇති අතර එහිදී එම සිරුර මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට ගෙනවිත් භාරදී, එහි තිබූ අදාළ තැනැත්තාගේ සිරුර රැගෙන ගොස් එදිනම මිහිදන් කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස මාරුවී තිබුණේ පසුගිය 11 වැනි දා වන අලියෙකු පහර දීම මගින් මියගිය අයෙකුගේ දේහයක් සමඟයි.
මේ පිළිබඳව මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාගෙන් කළ විමසුමකදී ඔහු පවසා සිටියේ මෘතදේහයක් නියමිත ඥාතීන්ට භාර දීම, සුළු සේවක පාලක වරයාගේ වගකීමක් බවයි.
එමෙන්ම ඥාතීන්ද මෘතදේහය හඳුනාගෙන එය භාර ගත යුතු බවත් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වූ මෘත දේහයට වෙනත් මෘතදේහයක් මාරු වීම කිසිසේත් සිදු වීමට නොහැකි බවත් මෘත ශරීරය මෙය මෘතශරීරාගාරයේ සුළු සේවකයන්ගේ නොසැලකිල්ල මත සිදු වූ වරදක් බවත් ඔහු පවසා සිටියා. මේ පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.
මියගිය පුද්ගලයාගේ ඥාතියෙකු වන H. M. S බණ්ඩාර මහතා පැවසුවේ,
මෘතදේහය වැල්ලවාය රෝහලට රැගෙන යාමෙන් පසුව මොනරාගල රෝහලට යවා තිබුණා. 13 වැනිදා අපි මොණරාගල මහ රෝහලට ගියා. ඥාතියෙකුට මෘතදේහය පෙන්නුවෙ නෑ. බලන්න දෙන්න බැහැ කිව්වා. හවස පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා මෘත දේහය අපට භාර දුන් බවට අත්සනක් අපෙන් ගත්තා.
යනුවෙනුයි.
866 Views
Comments