රාජගිරියේ වයස්ගත කාන්තාව ගෙල මිරිකා මැරූ කුඩ්ඩා අත්අඩංගුවට - කුඩු බොන්න සල්ලි හොයන්න වහලේ උලු ගලවා ගෙට පැනලා

මත්කුඩු පානය කිරීමට තමන් සතුව මුදල් නොමැති නිසා අලූයම් කාලයේ නිවෙස් බිඳිමින් සොරකමේ ගිය පුද්ගලයෙකු වැලිකඩ පොලිස් වසමේ රාජගිරිය පාර, රාජගිරිය ප්‍රදේශයේ නිවසක තනිව ජීවත්වූ වයෝවෘද්ධ කාන්තාවකගේ ගෙල සිරකොට ඝාතනය කර නිවසේ තිබූ මුදල් පැහැරගෙන ගොස් මරණය අබිරහසක් ලෙස වසන් කිරීමට තැත්කළ පුද්ගලයෙකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් පෙරේදා(26) දින අත්අඩංගුවට ගත් බව එම ඒකකය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්ව තිබෙන්නේ අවුරුදු හැත්තෑවක් වන අංක 265, රාජගිරිය පාර, රාජගිරිය ලිපිනයේ පදිංචිව සිටි සිරිමා ගොපල්ලව නම් අවිවාහක වයෝවෘද්ධ කාන්තාවකි.
මෙම කාන්තාව නිවසේ තනිවම ජීවත්ව ඇති අතර ඇගේ සහෝදර සහෝදරියන් දැනට විදෙස්ගතව සිටින බවත් සැකකරු මෙම නිවසේ කාන්තාව පමණක් තනිව ජීවත්වන බව තහවුරු කරගැනීමෙන් පසුව 25වන දින අලූයම 4:30 ට පමණ නිවසේ සෙවිලිකර තිබූ උලු කැට ඉවත් කර එයින් නිවස තුළට ඇතුලුවී මුදල් සහ රන්භාණ්ඩ සොරා ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී කාන්තාවට මෙම පුද්ගලයාගේ අඩි ශබ්දය හා නිවස තුළ තිබූ අල්මාරිවල දොරවල් ඇරීමේ ශබ්දය ඇසීමත් සමඟ කෑ ගසා තිබේ.
ඒත් සමඟ සැකකරු විසින් කාන්තාවගේ ගෙල අතින් සිරකොට ඇති බවත් එම අවස්ථාවේදී කාන්තාව සිහිමුර්ජාවී නිවස තුළ වැටී ඇති බවත් බියට පත් සැකකරු එම ස්ථානයෙන් පැන පළා ගොස් සැඟව තිබූ බවත් පොලීසිය සඳහන් කළේය.
කාන්තාවගේ නිවස තුළින් “සොරෙක් සොරෙක්” යන ශබ්දය අසල්වාසී නිවසක පදිංචි පුද්ගලයෙකුට ඇසීමත් සමඟ ඔහු මෙම කාන්තාවගේ නිවසට ඇතුළු වන ගේට්ටු වසා දමා තිබූ බැවින් කාන්තාවගේ නම කියා කිහිපවතාවක් ඇමතූවත් පිළිතුරු නොලැබීම හේතුවෙන් අනෙක් අසල්වැසි නිවැසියන්ටද කතා කොට පොලිස් හදිසි ඇමතුම් ඒකකයට මේ බව දන්වා ඇතැයි පොලිසිය පවසයි.
ලැබුණු දුරකථන ඇමතුම අනුව වහා එම ස්ථානයට පැමිණි වැලිකඩ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් විසින් නිවසේ දොරවල් සියල්ලටම අඟුළු දමා තිබූ බැවින් ඉදිරිපස ප‍්‍රධාන දොර කඩා ඇතුල්වී සෝදිසි කර බැලීමේදී කාන්තාව නිදා සිටි කාමරය තුළ බිම වැටී මිය ගොස් සිටි බව පැවසීය.
මෙම නිවස පිහිටි ස්ථානයේ අසල්වැසි නිවාසයන්හි සීසීටීවී කැමරා දත්ත පරීක්ෂා කොට විමර්ශන ආරම්භ කළ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් මෙම ප්‍රදේශයේ සිටින මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිවූවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන සිදු කළ පරීක්ෂණ වලදී සීසීටීවී කැමරා පද්ධති වල සටහන්ව තිබු මෙම සැකකරු කඩුවෙල විජිත කුමාර නොහොත් ජින්ටි රංජි නමැති අනුවර්ථ නාමයෙන් පෙනී සිටින පුද්ගලයෙක් බවට හඳුනාගත් බවත් ඉන් පසුව මෙම පුද්ගලයා රාජගිරිය ප්‍රදේශයේ නිවසක සැඟව සිටින බවට ලද තොරතුරක් අනුව අත්අඩංගුව ගත් බවත් පොලීසිය පැවසීය.
සැකකරු වසර හතරකට වැඩි කාලයක් බන්ධනාගාරගතව සිට මීට මාස කිහිපයකට පෙර ඇප මත නිදහස්ව පැමිණ සිටි පුද්ගලයෙක් බවත් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවද නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පැවසීය.
සැකකරු වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකිරීම සහ අධිකරණයට භාරදීම සඳහා වැලිකඩ පොලිස් ස්ථානය වෙත භාරදුන් බව පොලීසිය පැවසීය.
1147 Views
Comments