ඉන්දියාවෙන් පැන ආ තවත් පවුලක් සොයාගනී - ඉන්දියාවට ගොස් ඇත්තේ යුධ සමයේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
13

ඉන්දියාවෙන් පැන ආ තවත් පවුලක් සොයාගනී - ඉන්දියාවට ගොස් ඇත්තේ යුධ සමයේ

ඉන්දියාවෙන් පැන ආ තවත් පවුලක් සොයාගනී - ඉන්දියාවට ගොස් ඇත්තේ යුධ සමයේ

පසුගිය මැයි මස 7 වන දා ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ නිවසක් තුළ සැඟව සිටි තවත් පවුලක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

 

මෙසේ හඳුනා ගත් පිරිස අතර වයස අවුරුදු 34 ක් වූ දියණියක්, වයස අවුරුදු 61 ක් වූ කාන්තාවක්, වයස අවුරුදු 9 සහ 5 යන වයස් වල පසුවන පිරිමි දරුවන් දෙදෙනෙක් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

 

මොවුන් ඉන්දියාවේ රාමේෂ්වරන් සිට මන්නාරමට ධීවර බෝට්ටුවකින් පැමිණ ගුරුනගර් ප්‍රදේශයට ගොස් ඇති බව මේ වන විට අනාවරණය කරගෙන තිබෙනවා. මේ වන විට හෙළිකරගෙන තිබෙන තොරතුරු වලට අනුව මොවුන් ඉන්දියාවට ගොස් ඇත්තේ පසුගිය යුධ සමය තුළයි.

 

කෙසේ නමුත් මේ වන විට ඉන්දියාව තුළ පවතින තත්වය හමුවේ ඔවුන් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඔවුන් මේ වන විට එම නිවස තුළම නිරෝධායනයට යොමුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා ප්‍රකාශ කළේ.

 

එමෙන්ම අද (13) දිනයේ දී ඔවුන්ගේ PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව ද වාර්තා වනවා. මේ වන විට ශ්‍රී ලංකාව අවට මුහුදු කලාපයේ නාවික ආරක්ෂාව තර කර තිබෙනවා. එවන් පසුබිමකයි මෙලෙස ඉන්දියාවෙන් පැමිණි පවුලක් හඳුනාගෙන ඇත්තේ.

views

1094 Views

Comments

arrow-up