විලියම් හැරී දෙසොහොයුරෝ මිත්‍ර වෙති. - පිලිප් කුමරුගේ අවමගුල් උත්සවයේ ඔබ නොදත් දේ...

බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිනගේ ස්වාමිපුරුෂයා වූ එඩින්බරෝහි ආදිපාදවරයා හෙවත් පිලිප් කුමාරයා ගේ අවසන් කටයුතු සෙනසුරාදා (17) ශාන්ත ජෝර්ජ් දෙව්මැදුරේ දී සිදු කරනු ලැබීය. කොවිඩ් සෞඛ්‍ය නියාමනයන්ට අනුකූලව මෙම අවස්ථාවට සහභාගී වූයේ රාජකීයයන් 30 දෙනෙකු පමණි. නමුත් අවසන් ගෞරව දැක්වීමේ කටයුතු වලට සන්නද්ධ හමුදා සාමාජිකයන් 730 ක් සහභාගි වූ බව ප්‍රකාශ වී ඇත.
පිලිප් කුමරුගේ අවමංගල්‍ය සිදු කරන ආකාරය වසර ගණනකට පෙර සිට සැලසුම්කර තිබිණි. පිලිප් කුමරාගේ අවසන් කටයුතු පිළිබඳ පූර්ව සැලසුම් වලට අනුව ලොව පුරා 800 ක ආරාධිතයන් පිරිසක් එම අවස්ථාවට සහභාගී වීමට නියමිතව සිටි නමුත් කොවිඩ් වසංගතය නිසා එය අවලංගු කරනු ලැබීය. එසේම කුමාරයා විසින් කර තිබූ ඉල්ලීමකට අනුව මෙම රාජකීය අවමගුල් උත්සවය සිදු කරනු ලැබුවේ රාජ්‍ය ගෞරව රහිත හමුදා උත්තමාචාර මධ්‍යයේය.දේහය සහිත දෙණ වින්ඩ්සර් මාලිගයේ සිට දේවස්ථානය කරා රැගෙන යනු ලැබුවේ කුමාරයා බෙහෙවින් ඇලුම් කළ ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් රථයකිනි. එයද අවශ්‍ය ආකාරයට වෙනස්කම් සිදු කර තිබුණේ කුමාරයාගේ සිතැඟි වලට අනුකූලවය. මෙයට වසර 16 කට පෙර තම අවමගුල රථය සැලසුම් කිරීමට පිලිප් කුමරා හට සිත් පහළ වූයේ සිය 82 වැනි උපන්දිනයට පසුව යැයි කියනු ලැබේ.
රාජකීය අවමංගල්‍යයට එක්වීමේ අවස්ථාව නොලද සාමාන්‍ය ජනතාව සිය ගණනක් මුඛ ආවරණ පැළඳ නිසි පරතරය සුරකිමින් මාලිගය සහ දේවස්ථානය අසල මාර්ගය දෙපස සන්සුන්ව පෙළ සැදී බ්‍රිතාන්‍ය ජාතික ධජ අතැතිව ආචාර්ය පුද කළ බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය. සවස 3 ට අවමඟුල් පෙරහර දේවස්ථානයට පිවිසි අතර එහිදී විනාඩියක නිශ්ශබ්දතාවක් පවත්වන්නට යෙදුණි. මේ අවස්ථාවේ නිශ්ශබ්දතාවය ආරක්ෂා වන පිණිස හීතෘ ගුවන් තොටුපොළෙන් ගුවන් යානා නැංවීම සහ බැස්වීම ද විනාඩි 6 කට අත්හිටුවනු ලැබිණි. ඉක්බිති රාජකීය අශ්වාරෝහක බල ඇණිය විසින් සිදුකරන ලද ආචාර වෙඩිමුරය කින් එය අවසන් කරනු ලැබීය. ඊට සමගාමීව බ්‍රිතාන්‍ය පුරා සහ ජිබ්‍රෝල්ටාවේ ස්ථාන 9කදී ආචාර වෙඩිමුර පවත්වන ලදී.
දෙණ රැගත් රථය පසුපස කිරුළ හිමි චාල්ස් කුමාරයා සහ ඈන් කුමරිය පෙරටුව ගමන් කළහ. ඔවුන්ට පිටුපසින් එඩ්වඩ් කුමාරයා සහ ඇන්ඩෘ කුමරා වූහ. සිය පියාගේ අභාවයෙන් හිස් වූ එඩින්බරෝ ආදිපාද තනතුරට නම් කරනු ලැබීමට නියමිතව ඇත්තේ පවුලේ බාලයා වන ඇන්ඩෘෘ කුමරායා ය. මෙම තීරණය 1999 වසරේ ප්‍රකාශයට පත් කරන ලද්දකි. ඔහුගේ බිරිය වන සොෆී කුමරිය හෙවත් වෙසෙක්ස්හි ආදිපාදවරිය එළිසබත් රැජිණගේ සිත වඩාත් දිනා ගත් තැනැත්තියක් ලෙස සැලකේ. සිය පරිවාර කාන්තාව වන Susan Hussey සමග බෙන්ට්ලි රථයකින් ගමන් කළාය. එම දෙදෙනා ද මුව ආවරණ පැළඳ සිටියහ. දේවස්ථානයේ අවසන් ආගමික වතාවත් සිදු කරන අවස්ථාවේ ද රැජින සිටියේ සිය දරුවන්ගෙන් දුරස්ව වෙනම ස්ථානයක අසුන් ගෙන ය. ඔවුන් පසුපසින් චාල්ස් කුමරාගේ ආර්යාව වන කැමිලා පාකර් හෙවත් කෝන්වෝල්හි ආදිපාදවරිය විලියම් කුමාරයා සහ ඔහුගේ ආර්යාව වන කේම්බ්රිජ්හී ආදිපාදවරිය හෙවත් කැතරින් කුමරිය ගමන් කළෝය. රාජකීය යුවළගේ එකම දියණිය වන ඈන් කුමරිය ගේ සැමියා වන විශ්‍රාමික නාවික හමුදා නිලධාරීන් වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමති ලෝරන්ස් ද එම අවස්ථාවට සහභාගී වූවන් අතර සිටියේ ය.
රාජකීයයන් කිසිවෙකු හමුදා නිල ඇඳුමින් සැරසී නොසිටිය යුතු බවට ඇති අණක් නිකුත් කර තිබිණි. හමුදා සේවයෙන් ඉවත් වූ සාමාජිකයන් අපහසුවට පත් නොවනු පිණිස එම තීරණය ගනු ලැබූ අතර අවශ්‍ය නම් පදක්කම් පමණක් පැළඳීමට අවසර හිමි විය. දේවස්ථානයේ පියගැට මුදුනේ දී දේහය බාර ගනු ලැබුවේ කැටන්බරියේ අදරදගුරු විසිනි. හිටපු නාවික භටයකු වූ පිලිප් කුමාරයා ගේ දේහය සහිත දෙණ මත මල්වඩම් වලට අමතරව ඔහුගේ අසිපත සහ හිස්වැස්ම තබා තිබෙනු දක්නට හැකි විය.
චාල්ස් - ඩයනා යුවළගේ දරු දෙදෙනා වන විලියම් කුමරා සහ හැරී කුමරා අවමගුල් පෙරහැරේ එකිනෙකාට සමීපයෙන් ගමන් කරනු ඇතැයි අදහස් මුලින් පළ වී තිබූ නමුත් ඔවුන් දෙදෙනා මැදින් ඥාති සොහොයුරෙකු වන පීටර් පිලිප්ස් ගමන් ගත්තේය. දිගු කලකට පසු හමු වූ සොයුරන් දෙදෙනා හට දේවස්ථානයේ අසුන් පනවා තිබුණේ ද තරමක් දුරස්වය. නමුත් අවමංගල්‍ය උත්සවයෙන් පසුව දේවස්ථානයෙන් නික්ම යන අවස්ථාවේ ඔවුන් දෙදෙනා සමීප කතාබහක නියැලෙමින් ගමන් කරනු දක්නට ලැබුණි.
අවමංගල්‍ය කටයුතු සමාප්ත වූයේ පිලිප් කුමරාගේ දේහය සහිත දෙණ එහි පොළොව යට පිහිටි රාජකීය සොහොන් ගර්භයක තැන්පත් කරනු ලැබීමෙනි. දෙවැනි එළිසබෙත් රැජිණ අභාවයට පත්වන තුරු ඔහුගේ දේහය එහි රඳවා තැබෙනු ඇත. ඉන්පසු දේහයන් දෙකම සදහට සමාදානයේ සැතපෙනු සඳහා 6වැනි ජෝර්ජ් රාජකීය අනුස්මරණ දෙව් මැදුර තුළ මිහිදන් කරනු ලැබීමට නියමිතය. මෙම අවමඟුල් උත්සවය අවස්ථාවට රාජකීය යුවළගේ දරුවන් සිව්දෙනා සහ මුණුබුරන් 8 දෙනා සහභාගී වුවද මීමුණුබුරන් 10 දෙනා අතරෙන් කවරෙකුටවත් ඒ අවස්ථාව හිමිවූයේ නැත. ඇමරිකාවේ සිට මෙම උත්සවය සඳහා පැමිණි හැරිය කුමරා නිරෝධායනය යටතේ සිටිය යුතු නමුත් ඊට අවසරය ලැබුණේ සමීපතම ඥාතියෙකුගේ අවමංගල්‍යයට සහභාගි වීමට අවස්ථාව ලබාදීමේ විවිධ විධානයට අනුවය. ඔහුගේ බිරිය වන මේගන් මාර්කල් හෙවත් සසෙක්ස්හි ආදිපාදවරිය ගර්භණී සමයේ අග භාගය පසුවන බැවින් වෛද්‍ය උපදෙස් මත මෙම අවස්ථාවට සහභාගී වූයේ නැත.
විලියම සහ හැරී කුමාරවරු සමගි වෙති
ඔප්‍රා වින්ෆ්‍රේ සමඟ සිදු කළ ආන්දෝලනාත්මක රූපවාහිනී සාකච්ඡාවෙන් පසු විරසක වූ විලියම් සහ හැරී කුමාරවරු මුත්තනුවන්ගේ අවමඟුල් උත්සව අවස්ථාවේ නැවතත් සමඟ වී ඇතැයි ඔවුන්ට සමීප ආරංචි මාර්ග පවසයි. එය කැමරාවට පෙනෙන්නට නොව සැබැවින්ම සිදු කළ දෙයක් බව ඔවුන්ගේ ශරීර භාෂාවෙන් විද්‍යාමාන වන්නේ යැයි ඒ පිළිබඳ විශේෂඥයෝ පවසති. මෙම සොයුරන් දෙදෙනා එකිනෙකා හමු වූයේ වසරකට පමණ පසුවය. අවමඟුල් උත්සවය නිමවී ආපසු යන අතරතුර සිදු වූ මෙම හමුව සැලසුම් සහගතව කළ ක්‍රියාවක් විය හැකි වුවත් ස්වභාවික සමාදාන වීමක් එහි දැකිය හැකි බව ජූඩි ඡේම්ස් නැමැති ශරීර භාෂාව විද්‍යාඥවරිය පෙන්වා දී තිබේ. විලියම් කුමරු සහ ඔහුගේ ආර්යාව වන කේම්බ්රිජ්හී ආදිපාදවරිය පිටුපසින් පැමිණි හැරී කුමරා ඔවුන් සමග මුසු වී ඇත. ඉන්පසුව දෙසොහොයුරන්ට කතා කිරීමට පහසු වන පිණිස ආදිපාදවරිය මදක් පසුපසට වූවාය යැයි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ශරීර භාෂා විශේෂඥවරිය පවසා තිබේ.
රාජකීය සිරුරු 26 ක් තැන්පත් කළ සොහොන් ගර්භය
මෙය වින්ඩ්සර් මාළිගා පරිශ්‍රයට අයත් ශාන්ත ජෝර්ජ් දේවස්ථානය යට පිහිටා තිබේ. 15 වැනි සියවසේ සිට මෙම දේවස්ථානය තුළ බ්‍රිතාන්‍ය රාජකීයයන් භූමදානය කරනු ලබයි. වර්ෂ 1804 - 1810 අතරතුර තුන්වැනි ජෝර්ජ් රජුගේ පාලන සමයේ දී මෙම සොහොන් ආගාරය එහි ඉදි කරනු ලැබිණි. වර්තමානයේ දෙණ ඇතුළු කරනු ලබන්නේ දෙව්මැදුරු බිම පිහිටි විවරයක් හරහා විදුලි සෝපාන යන්ත්‍රයක උපකාරයෙනි. ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ මෙම සොහොන් ආගාරයේ මේ දක්වා රාජකීයයන් 25 දෙනෙකු ගේ මෘත ශරීරය තැන්පත් කරනු ලැබ ඇත. මුල්වරට එහි තැන්පත් කරනු ලැබුවේ වර්ෂ 1810 දී මියගිය අමෙලියා කුමරියගේ සිරුරයි. ඇය තුන්වැනි ජෝර්ජ් රජුගේ කණිටු දියණියයි. දෙවැනි වරට එහි තැන්පත් කළ සිරුර එම රජුගේම සොහොයුරියක වූ 1813 දී මියගිය ඕගස්ටා කුමරියගේය. අවසන් වරට 1969 වසරේ දී එහි තැන්පත් කළ දේය අයත් වූයේ පිලිප් කුමරාගේ මෑණියන් වූ ඇලිස් කුමරියටයි. නමුත් පසුව ඇගේ දේහයේ අවශේෂයන් ජෙරුසලමට රැගෙන යනු ලැබිණි.
1294 Views
Comments