කොවිඩ් වෛරස බලපෑම ලේ බැංකුවටත්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
29

කොවිඩ් වෛරස බලපෑම ලේ බැංකුවටත්

කොවිඩ් වෛරස බලපෑම ලේ බැංකුවටත්

නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ මේ වන විට රුධිර හිඟයක් පවතින බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පවසයි. කොවිඩ් බලපෑම මත රටේ විවිධ ප්‍රදේශවල ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ජංගම ලේ දන්දීමේ කඳවුරු බොහොමයක් නතර වී තිබේ. ඒ අනුව එළඹෙන සතියේදී දෛනික රුධිර අවශ්‍යතාව සපුරා ගැනීමේ ගැටලුවක් මතුව ඇත.

 

අධ්‍යක්ෂවරයා සඳහන් කරන පරිදි දෛනික රතු රුධිරාණු අවශ්‍යතාව ඒකක 900 ක් වන අතර පට්ටිකා අවශ්‍යතාව ඒකක 600 කි. පට්ටිකා දින පහකට වැඩි කාලයක් ගබඩා කර තබා ගැනීමටද නොහැකිය. මේ වන විට රතු රුධිරාණු සංචිතය ඒකක 10,000 ක් වන අතර පට්ටිකා සංචිතය ඒකක 3500කි. මෙම සංඛ්‍යාව ප්‍රමාණවත් වන්නේ දින කිහිපයකට පමණක් බව පැවසූ අධ්‍යක්ෂවරයා මේ වන විට පවතින අවශ්‍යතාව සපුරා ගැනීමට නම් දෛනිකව රුධිර ඒකක අවම වශයෙන් 800 ක් වත් අවශ්‍ය කරන බව සඳහන් කළේය.

 

මේ වන විට රෝහල්වල ශල්‍යකර්ම සිදුකරන ප්‍රමාණයේ යම් අඩුවක් තිබුණද ඒවා නතර වී නොමැති අතර ඒ සඳහාද යම් රුධිර ප්‍රමාණයක් අවශ්‍ය වේ. මීට අමතරව ගර්භණී මාතාවන්ගේ සිසේරියන් සැත්කම් සඳහා, පිළිකා රෝගීන් සඳහා, වකුගඩු රෝගීන්, තැලසීමියා රෝගීන් සහ ලියුකේමියා රෝගීන් සඳහාද රුධිරය අවශ්‍ය කෙරේ. ඒ අනුව රුධිර පරිත්‍යාගශීලීන්ට 0115332153/54 යන දුරකථන අංක ඔස්සේ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය අමතා වෙලාවක් වෙන්කොට දිවයින පුරා පිහිටි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානවලදී රුධිරය ලබාදිය හැකිය.

 

වෙලාවන් වෙන් කරගැනීමේදී නාරාහේන්පිට මධ්‍යස්ථානය උදේ 8 ත් සවස 6ත් අතර කාලයේ ඇමැතිය හැකි අතර අනෙකුත් රුධිර පාරවිලයන මධ්‍යස්ථාන උදේ 8 ත් සවස 4 ත් අතර ඇමතිය හැකිය. මීට අමතරව www.ndts.life යන වෙබ් අඩවියට පිවිසීමෙන්ද ඒ සඳහා දිනයක් සහ වෙලාවක් වෙන්කර ගැනීමට හැකිවේ. එසේ දිනයක් සහ වෙලාවක් වෙන්කරගත් පසුව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ නියෝජිතයකු විසින් කෙටි පණිවුඩයක් යවා එම වෙන්කිරීම තහවුරු කෙරේ. කොවිඩ් වසංගත තත්ත්වය මත රුධිරය පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වන්නන්ද විශේෂ ඇගයීමකට ලක්කරන බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

 

 

views

707 Views

Comments

arrow-up