රාජ්‍ය කඨින මහෝත්සවය හා පඬු පෙවීමේ මහා මංගල්‍යය ලබන මස 7,8
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
30

රාජ්‍ය කඨින මහෝත්සවය හා පඬු පෙවීමේ මහා මංගල්‍යය ලබන මස 7,8

රාජ්‍ය කඨින මහෝත්සවය හා පඬු පෙවීමේ මහා මංගල්‍යය ලබන මස 7,8

රාජ්‍ය කඨින මහෝත්සවයේ කඨින චීවරය සැකසීම සඳහා පුරාණ චාරිත්‍රානුකූලව නූල් පිළිගැන්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දෑතින් සිදු කෙරේ.

 

රාජ්‍ය කඨින මහෝත්සවය හා පඬු පෙවීමේ මහා මංගල්‍යය නොවැම්බර් 07 සහ 08 දෙදින ඓතිහාසික සෝමාවතී පුදබිමේ දී පැවැත්වීමට බතික්, අත්යන්ත්‍ර හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

 

දෙවැනි පරාක්‍රමබාහු රජ සමයෙන් පසු රාජ්‍ය අනුග්‍රහයෙන් කඨින මහෝත්සවයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. කපු වගා කර, නූල් කටිමින්, එම නූලෙන් වියන කපු රෙදි භාවිත කරමින් කඨින චීවරය මසා, පඬු පොවා සාංඝික කිරීම පෙර රජ දවසේ පැවති චාරිත්‍රයකි. එය සිහි ගන්වමින්, කඨින චීවරය සැකසීම සඳහා අවශ්‍ය නූල් අද (30) පස්වරුවේ ජනපති නිවසේ දී රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත භාරදෙනු ලැබීය.

 

මැදිරිගිරිය, බිසෝපුර ගම්වැසියෝ මේ නූල් භාවිත කරමින්, අත්යන්ත්‍ර යොදා ගනිමින් කඨින චීවරය සැකසීම හෙට (31) සිට ආරම්භ කරති. පුරා සතියක් වියනු ලබන තනි පොට සිවුර 07 වැනිදා මහා පෙරහරින් සෝමාවතී පුදබිමට වැඩම කෙරේ. සෝමාවති රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමියන්ගේ අනුශාසනා පරිදි රාජ්‍ය කඨින මහෝත්සවයේදී චීවරය සාංඝික කර පසුදින දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් පඬු පොවනු ලැබේ.

 

මේ වසරේ සිට රාජ්‍ය කඨින මහෝත්සවය වාර්ෂිකව පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙරට වැඩ වෙසෙන 40,000කට අධික භික්ෂුන් වහන්සේට අවශ්‍ය කරන නිසි ප්‍රමිතියෙන් යුත් සිවුරු ලක්ෂයකට අධික සංඛ්‍යාවක් වාර්ෂිකව ආනයනය කෙරේ. දේශීය අත්යන්ත්‍ර භාවිතයෙන්, ඉහළ ප්‍රමිතියකින් යුතුව එම සිවුරු අවශ්‍යතාව දේශීයව සපුරාලීමට ඉදිරියේ දී පියවර ගන්නා බව දයාසිරි ජයසේකර මහතා ජනාධිපතිතුමා සමග පැවසීය.

 

views

615 Views

Comments

arrow-up