ඉදිරි පැය 12 තුල සුළි කුණාටුවක් - කාලගුණයෙන් රතු නිවේදන

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඊයේ රාත්‍රී (30) 11.30 වන විට ත්‍රිකුණාමලයට ගිනිකොණ දෙසින් කි.මී. 590 ක් දුරින් ස්ථානගතව ඇත.
මෙම පද්ධතිය ඉදිරි පැය 06 තුලදී ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වී ඊට පසුව එළඹෙන පැය 12 තුල සුළි කුණාටුවක් දක්වා වර්ධනයව වනු ඇත.
මෙම සුළි කුණාටුව බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර මඩකලපුව සහ මුලතිව් අතරින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට හෙට (02) සවස් කාලයේදී ඇතුළුවිය හැක.
නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ඇතැම් ස්‌ථානවල මි.මී. 100 ට වැඩි තද වැසිද ඇතිවිය හැක. වයඹ පළාතේ තැනින් තැන වැසිද ඇතිවිය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශ වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දිවයින පුරා අහස වලාකුලින් බරව පවතීවි. උතුරු, උතුරු මැද, නැගෙනහිර ,වයඹ සහ බස්නාහිර පළාත්වල විටින් විට පැ.කි.මි.(30-40) පමණ දක්වා වන සාමාන්‍යයෙන් තද ප්‍රහාරාත්මක සුළං ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමයි.
සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ පොතුවිල්හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (55-60) දක්වා වැඩිවිය හැක.
ගාල්ල සිට කොළඹ හරහා පුත්තලම දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා වැඩිවිය හැක දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මඳ වශයෙන් රළු දක්වා වන අතර පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ පොතුවිල්හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු හෝ රළු විය හැක.
ගාල්ල සිට කොළඹ හරහා පුත්තලම දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.
කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශ වල මුහුදු රළ මීටර්(2.0-3.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතී.
759 Views
Comments