ෂෙඩ්වලට වැඩිපුර කොමිස් දීමෙන් සංස්ථාවට මිලියන 6000ක පාඩුවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
03

ෂෙඩ්වලට වැඩිපුර කොමිස් දීමෙන් සංස්ථාවට මිලියන 6000ක පාඩුවක්

ෂෙඩ්වලට වැඩිපුර කොමිස් දීමෙන් සංස්ථාවට මිලියන 6000ක පාඩුවක්

ඉන්ධනහල් හිමියන්ට ඉන්ධන ලීටරයක් සඳහා ගෙවන කොමිස් මුදල සියයට 2.5 සිට සියයට 3 දක්වා වැඩි කිරීමේදී අධ්‍යක්‍ෂ මණ්ඩලය කළ නිර්දේශ නොතකා ඉන්ධන මිල විශාල ලෙස වැඩිවූ පසුද දිගින් දිගටම සියයට තුනක කොමිස් මුදල් ගෙවීම නිසා රුපියල් කෝටි 600(බිලියන 6) ඉක්මවා පාඩුවක් තෙල් සංස්ථාවට සිදුව ඇත.

 

එම පාඩුව නොවන්නට දැනට අලෙවි කරන සෑම ඉන්ධන වර්ගයකම මිල රුපියල් 10ක් 20ක් අතර ගණනකින් අඩුකළ හැකිව තිබූ බව සංස්ථා උසස් නිලධාරීන් ගණන් බලා තිබේ.

 

ඒ අනුව දිනකට සිදුවන පාඩුව රුපියල් කෝටි හයක් දක්වා වැඩිවී තිබේ. ඒ අනුව මසක පාඩුව රුපියල් කෝටි 180ක් පමණ වන බවද ගණනය කිරීම්වලදී හෙළිවී ඇත.

 

2019 ජුනි 30 වැනිදා අංක 5/12/31 දරණ අධ්‍යක්‍ෂ මණ්ඩල පත්‍රිකාව මගින් ඉන්ධන හල් හිමියන් වෙත තෙල් ලීටරයක් සඳහා ගෙවන කොමිස් මුදල සියයට 2.5 සිට සියයට 3 දක්වා ඉහළ දැමීමට පියවර ගැනිණි. එහිදී ඉන්ධන මිල උච්ඡාවචනය වීමේදී උපරිම හා අවම මිලක් මත කොමිස් ගෙවීම සීමා කළත් ඉකුත් කාලයේ දී ඉන්ධන මිල විශාල ලෙස ඉහළ දමන විට ඊට සාපේක්‍ෂව සියයට 3 ක කොමිස් මුදල් ගෙවාදැමීමට පියවර ගෙන ඇත.

 

ඒ අනුව 2021 ජුනි 21 වැනිදා ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරය 157 දක්වාත්, 95 ලීටරය 184 දක්වාත්, ඩීසල් ලීටරය රුපියල් 111 දක්වාත්, සුපර් ඩීසල් 144 දක්වාත් වැඩිවීමේ සිට වර්තමාන මිල දක්වා වැඩිවීමේදී දිගින් දිගටම සියයට 03ක කොමිස් මුදල ගෙවා දමා ඇත.

 

ඒ අනුව තෙල් සංස්ථාවට සිදුවූ පාඩුව රුපියල් කෝටි 400 (බිලියන 4) ඉක්මවා තිබූ අතර මේ වනවිට එම පාඩුව රුපියල් කෝටි 600(බිලියන 6) දක්වා වැඩි වී ඇත.

 

2021 ජුනි 21 වැනිදා අධ්‍යක්‍ෂ මණ්ඩලය ගත් තීරණයට අනුව ඉන්ධන ලීටරයක් සඳහා ඉන්ධනහල් හිමියන්ට ගෙවන කොමිස් මුදල සියයට 2.5 සිට සියයට 3 දක්වා වැඩි කිරීමේදී 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 167 උපරිමයකටත්, 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 117 කටත්, ඩීසල් ලීටරයක මිල රුපියල් 121 කටත්, සුපර් ඩීසල් 145 උපරිමයකට යටත්ව සියයට තුනක කොමිස් ගෙවීමට නිර්දේශ කර තිබිණි. ඉන්ධන මිල මීට වඩා වැඩිවන විට සියයට තුනක කොමිස් හිමි නොවන ලෙසද කොන්දේසි පනවා තිබුණි.

 

කොතරම් ඉන්ධන මිල ඉහළ ගියද කොමිස් ලෙස ලැබිය හැකි උපරිමයක් තීරණය කර තිබුණි. නමුත් එම කොමිස් ගෙවීමට නිර්දේශ කර තිබූ ක්‍රියාපටියෙන් බැහැරව යමින් තෙල් සංස්ථාවත්, එම විෂය භාරව සිටි ඇමැතිවරුත් කිසිදු ඇහිල්ලක් බැලිල්ලකින් තොරව සියයට තුනක කොමිස් මුදල ඉන්ධනහල් හිමියන්ට ගෙවා දමා ඇත.

 

මේ සම්බන්ධයෙන් තෙල් සංස්ථා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මුදල්) කරුණු හෙළිකළත් කළමනාකරණ අධ්‍යක්‍ෂවරයා ඊට අදාළ ක්‍ෂණික තීරණ නොගත් නිසා ඊට පසුවත් මෙලෙස කොමිස් මුදල් ගෙවා දමා ඇත.

 

2022 මාර්තු 10 වැනිදා චක්‍රලේඛයක් මගින් ඉන්ධනහල් හිමියන් වෙත වැඩිපුර ගෙවාදමා තිබෙන මුදල් වාරික හතරකින් අයකර ගැනීමට ක්‍රියාකළත් මේ වනවිටත් සාර්ථක වී නැත.

 

මෙලෙස අධ්‍යක්‍ෂ මණ්ඩල නිර්දේශ නොතකා ගෙවීම් කිරීමෙන් සංස්ථාවට වූ පාඩුව නොවන්නට දැනට වෙළෙඳපොළේ අලෙවි කරන සෑම වර්ගයකම පාහේ ඉන්ධන රුපියල් 10 ත් 20 ත් අතර ගණනකින් අඩු කරන්නට හැකි බවද තෙල් සංස්ථා නිලධාරීහු කියා සිටිති.

 

මෙරට තිබෙන ඉන්ධන හල් වලින් සැලකිය යුතු ප්‍රමාණයක අයිතිය දේශපාලනඥයන්ගේ ඥාතීන් හිතමිතුරන්, සංස්ථාවේ හිටපු සහ වත්මන් නිලධාරීන්ගේ ඥාති හිතවතුන්ගේ නම් වලින් ලියාපදිංචි කර ඇති ඒවා නිසා හිතාමතාම මේ ආකාරයට නිර්දේශ නොතකා කොමිස් ගෙවා තිබේ දැයි යන සැකය සාධාරණ බවද ඔවුහු පවසති.

views

217 Views

Comments

arrow-up