හරින්ගේ ප්‍රකාශයට කාදිනල් හිමියන් ඇතුළු රදගුරුතුමන්ලාගේ දැඩි විරෝධය

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පසුගියදා සිදුකළ ප්‍රකාශය අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් සහ කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරුතුමන්ලා තරයේ හෙළාදැක තිබෙනවා.
හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා විසින් ජනාධිපති කොමිසම හමුවේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ ප්‍රවෘත්තිය අසා මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් සහ කොළඹ අගරදගුරු පදවියේ සහයකරද ගුරුතුමන්ලා ඇතුලු සමස්ථ පූජක සංසදය බලවත් සේ කම්පනයටත් කැළඹීමටත් පත් වු බව ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
අගරදගුරුතුමා ඛේදවාචකය සිදුවුණු පාස්කු ඉරුදින උදෑසන දිව්‍ය පූජාවක් ප්‍රසිද්ධ දේවස්ථානයක පවත්වා නැති බැවින් උන්වහන්සේ එදින උදෑසන දිව්‍ය පූජාවක් පවත්වා නැත්තේ සිදුවන්ට යන අනතුර පිළිබදව උන්වහන්සේ ද කළින් දැනුවත් වී සිටි නිසායැයි අනුමාන කරමින් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කොමිසම හමුවේ ප්‍රකාශයක් සිදුකර සිටියා.
එම ප්‍රකාශය අගරදගුරුතුමන් වෙත එල්ල කළ අසත්‍යය මෙන්ම අසාධාරණ චෝදනාවක් බව කොළඹ අගරදගුරු පදවිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිරිත් පරිදි පාස්කු රාත්‍රී මෙහෙය අප්‍රේල් මස 20 වන සෙනසුරාදා කොළඹ කොටහේන ලුසියා දෙව්මැදුරේදී සිදුකළ අතර එය පාන්දර දෙක පමණ වන තුරු පවත්වා ඇති අතර අප්‍රේල් 21 වන ඉරුදින ද උන්වහන්සේ විසින් අගරදගුරු නිවසේදී දිව්‍යපූජාවක් පවත්වා ඇති බව කොළඹ අගරදගුරු පදවිය පෙන්වා දෙනවා.
එබැවින් තමන්ව සාධාරණීකරණය කරගැනීම සඳහා කාදිනල් හිමිපාණන්ව ඊට සම්බන්ධ කරගනිමින් මන්ත්‍රීවරයා සිදුකර ඇති ප්‍රකාශය අසත්‍ය බවත් කාදිනල් හිමිපාණන් හෝ රදගුරුතුමන්ලා හෝ කිසිදු කතෝලික පියතුමෙකු පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව කිසි ලෙසකින්වත් පෙරදැනුවත් වී නොසිටි බව කොළඹ අගරදගුරු පදවිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
වත්මන් ජනාධිපති කොමිසම කැපවී ක්‍රියාකරමින් සිටින බවත් මෙම දරුණු අපරාධය සිදුකළ කුරිරු ත්‍රස්තවාදීන්ටත් ඔවුන්ට එසේ ක්‍රියාත්මකවීමට සිය වගකීම් ඉතා බරපතළ ලෙස පැහැර හරිමින් මග සැලසු සිද්ධිය සිදුවන විට බලයේ සිටි දේශපාලන නායකයින්ට ද රාජ්‍ය පරිපාලන සේවයේ සහ බුද්ධි අංශවල සේවය කළ නිලධාරීන්ට ද විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන් ක්‍රියාකරනු ඇතැයි විශ්වාස කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
827 Views
Comments