රටපුරා PCR පරීක්ෂණ 20000ක් සිරවෙයි : දිනකට පරීක්ෂණ 4000ක් කිරීමට හැකි චීනෙන් ගෙනා PCR පරීක්ෂණ යන්ත්‍රය අක්‍රියයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
29

රටපුරා PCR පරීක්ෂණ 20000ක් සිරවෙයි : දිනකට පරීක්ෂණ 4000ක් කිරීමට හැකි චීනෙන් ගෙනා PCR පරීක්ෂණ යන්ත්‍රය අක්‍රියයි

රටපුරා PCR පරීක්ෂණ 20000ක් සිරවෙයි : දිනකට පරීක්ෂණ 4000ක් කිරීමට හැකි චීනෙන් ගෙනා PCR පරීක්ෂණ යන්ත්‍රය අක්‍රියයි

නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ස්ථාපිත කළ නව රසායනාගාරයේ පී.සී.ආර්. යන්ත්‍රයක් අක්‍රීය වීම හේතුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ සාම්පල විසිදහසකට ආසන්න සංඛ්‍යාවක ප්‍රතිඵල වාර්තා නිකුත් කිරීම ප්‍රමාද වී ඇති බව වාර්තා වනවා. පී.සී.ආර්. වාර්තා ලබාදීම ප්‍රමාදවීම හේතුවෙන් ඇඳිරිනීතිය පැනවීම ඇතුළු රෝගය ව්‍යාප්තවීම පාලනය කිරීමේ ක්‍රමයද ක්‍රියාත්මක කිරීමට තීන්දු ගැනීමේ බරපතළ ගැටලුවක් මතුවී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පෙන්වා දී සිටිනවා.

 

කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී සෞඛ්‍ය අංශ ප්‍රධානීන් හා කොවිඩ් මධ්‍යස්ථාන ප්‍රධානීන් අතර පැවැති සාකච්ඡාවකදී මේ බව අවධාරණය කර ඇත. ආසියානු සංවර්ධන බැංකුවේ මැදිහත්වීමෙන් රුපියල් මිලියන 250ක් වටිනා පී.සී.ආර්. යන්ත්‍රයක් ඉකුත් මැයි මාසයේ මුල්ලේරියාව රෝහලේ ස්ථාපිත කළද එය මේ වන විට දින හයක් තිස්සේ අක්‍රියව පවතින බව අනාවරණය වේ. මෙම තත්ත්වය මත සෞඛ්‍ය අමාත්‍යාංශය වහාම කඩිනම් පියවර ගෙන පැය 48ක් ඇතුළත මීට අවශ්‍ය පියවර ගන්නා ලෙස යුද හමුදාපතිවරයා දැනුම් දී ඇත.

 

මෙම පී.සී.ආර්. යන්ත්‍රය අලුත්වැඩියා කිරීමට චීන සමාගමේ නියෝජිතයන් මෙරටට ගෙන්වීමට සිදුවන බව හෙළිවී තිබේ. මේ සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂටද දැනුම් දීමට කොවිඩ් වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පියවර ගෙන ඇත. චීනයේ බී.ජී. අයි. නමැති සමාගමකින් ටෙන්ඩර් පටිපාටිවලට පරිභාහිරව ගෙන්වා ඇති මෙම පී.සී.ආර්. යන්ත්‍රයේ දේශීය නියෝජිතයා ලෙස පුද්ගලයකුගේ නමක් පමණක් සඳහන් කර ඇතැයි රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් ප්‍රකාශ කර සිටින්නේ. මෙම නියෝජිතයා රසායනාගාර උපකරණ සමාගමක් නොවන බවත්, මෙය සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කීපදෙනෙකු කළ මගඩියක ප්‍රතිඵලයක් බවයි ඔහු සඳහන් කළේ.

 

හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ විසින් මෙම යන්ත්‍රයෙන් දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 4000ක් කිරීමට හැකි බව පෙන්වා දුන්නද දැනට දිනකට පරීක්ෂණ දෙසීයක්වත් කිරීමට නොහැකි බව අනාවරණය වී තිබේ. මේ අතර දිවුලපිටිය හා කටාන යන ප්‍රදේශවල ඉකුත් 23 වැනිදා කළ පී.සී.ආර්. පරීක්ෂණ පන්සියයක පමණ ප්‍රතිඵල ඊයේ (28 වැනිදා) වනතුරුත් ලැබී නොතිබූ බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් සඳහන් කර සිටියා.

 

ඊට පෙර කළ පී.සී.ආර්. පරීක්ෂණ සියයක ප්‍රතිඵල අනුව තිස් දෙනකු වයිරසය ආසාදිතයන් බවට තහවුරු වූ බවත් මෙම තත්ත්වය යටතේ පී.සී.ආර්. පරීක්ෂණ අඛණ්ඩව සිදු කළ යුතු බවයි ඔහු සඳහන් කළේ. අවසන් වරට කළ පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන තෙක් සැක සහිත පුද්ගලයන් සම්බන්ධයෙන් කිසිදු තීරණයකට පැමිණීමට නොහැකි බවත් එය වයිරසය ව්‍යාප්තියට හේතු විය හැකි බව ඔහු වැඩිදුරටත් පැවසුවේ.

 

 

( මුලාශ්‍ර : අරුණ)

 

 

views

724 Views

Comments

arrow-up