සෙල්ලම් කරන්න යනවායි කියා නිවසින් ගොස් මහවැලි ගගේ දිය නෑමට ගිය දරුවෝ අතුරුදන්

මහනුවර, කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචි දරුවන් දෙදෙනෙකු මහවැලි ගඟේ දිය නෑමට ගොස් පසුගිය(29) අතුරුදන්වී ඇත.
මෙලෙස දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ අංක 120/13 ජනඋදානගම, පල්ලෙකැලේ යන ලිපිනයේ පදිංචිව සිටි වයස අවුරුදු දහතුනක් වන කමලදාසන් අකේශ් යන අය හා ජනඋදානගම, පල්ලෙකැලේ පදිංචි වයස අවුරුදු දාහතරක් වන පුනීලරාජ් යන පිරිමි දරුවන් දෙදෙනෙකි.
මොවුන් 29 වන දින සවස ක්‍රීඩා කිරීමට යන බව නිවෙස්වලට පවසා ගොස් ඇති බවත්, රාත්‍රී කාලය වනතෙක් නිවසට නොපැමිණීම හේතුවෙන් ප්‍රදේශයේ පුරා විපරම් කර සොයා බලා තොරතුරක් නොමැති බැවින් පල්ලෙකැලේ, බලගොල්ල පොලිස් ස්ථානය වෙත ගොස් දැන්වූ බව අතුරුදන්ව ඇති කමලදාසන් අකේශ් යන අයගේ මව පවසයි.
පසුව පල්ලෙකැලේ බලගොල්ල පොලිසිය මගින් සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණයවී ඇත්තේ අතුරුදන්ව ඇති දරුවන්ගේ බවට හඳුනාගත් පාවහන් හා ඇඳුම් පල්ලෙකැලේ පිහිටි දුම්බර බන්ධනාගාරයට පිටුපස මහවැලි ගංගා ඉවුරේ තිබී හමුවී ඇත.
එහිදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ මිතුරන් හය (06) දෙනා මෙලෙස දියනෑමට මෙම ස්ථානයට ගොස් ඇති බවත් ජල පහරට හසුවී ගඟ මැදට අතුරුදන් වූ දෙදෙනා ගසාගෙන ගොස් ඇති බවත්ය.
මෙම ප්‍රදේශයේ මහවැලි ගංගාව ඉතා ගැඹුරු බවත් එය අඩි 25කට වඩා පවතින බව ප්‍රදේශවාසීන් දන්වන අතර, පොදු ජනයා දිය නෑමට නොඑන ස්ථානයක් බවද ප්‍රදේශවාසීන් කියයි.
මෙම සිදුවීම පිළිබඳව පොලිස් අධීක්ෂණය යටතේ නාවික හමුදා කිමිදුම්කරුවන් යොදා ගනිමින් දින දෙකක් පුරා මෙහෙයුම් කටයුතු සිදු කළද අතුරුදන් වූ දරුවන් පිළිබඳව හෝඩුවාවක් මේ වන තෙක් (31 දින සවස) සොයා ගැනීමට නොහැකි වී ඇත.
පල්ලෙකැලේ පොලිසිය වැඩිදුර විමර්ශන හා මෙහෙයුම් කටයුතු සිදු කරනු ලැබේ.
282 Views
Comments