මොකක්ද මේ ජනාධිපති පොදු සමාව?

ජනාධිපතිවරයාට මෙවැනි සුවිශේෂී බලයක් හිමි වී තිබෙන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තියට අනුවයි. එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ කුමන හෝ අධිකරණයක් මගින් ඕනෑම වරදකට වරදකරුවකු කර දඬුවම් විඳින ඕනෑම පුද්ගලයකු කොන්දේසි විරහිතව නිදහස් කිරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවන බවයි. ව්‍යවස්ථාවට අනුව පුද්ගලයෙකු නීතිය ඉදිරියේ වරදකරුවෙකු බවට පත් වූ විටදී ඉන් වසර හතක් ගත වන තුරු ඔහුට මැතිවරණයකට ඉදිරිපත් කළ නොහැකියි. එසේ වුවත් ව්‍යවස්ථාවෙ 89/90 වගන්ති වලට අනුව නුසුදුසු භාවයට පත්කර අධිකරණය මගින් දඬුවම් නියම කරන ලද පුද්ගලයෙකු පවා සියලු චෝදනාවලින් නිදහස් කර මැතිවරණයකට ඉදිරිපත් කිරීමේ බලයද ව්‍යවස්ථාව මගින්ම ජනාධිපතිවරයාට හිමි වී තිබේ. එසේම කිසියම් සාපරාධී අපරාධයකට උදව්කර අධිකරණය මගින් දඬුවම් නියම කළ පුද්ගලයෙකුට පවා ජනාධිපති පොදු සමාව ලබාදීමට පුළුවන්.
මීට අමතරව අධිකරණය මඟින් මරණ දඬුවම නියම කළ පුද්ගලයෙකුට වුවත් එම නඩුව විභාග කළ විනිසුරුවරයාගේ වාර්තා ලබාගෙන ඒවා නීතිපතිවරයාට යොමු කර ඔහුගේ නිර්දේශය හා අධිකරණ අමාත්‍යවරයාගේ අනුමැතිය යටතේ මරණීය දඬුවමට බලපෑම් කිරීමට පවා ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය පවරා දී තිබේ. කෙසේ වෙතත් සුළු වැරදි සිදු කර සිර දඬුවම් විදින සහ කළ වරදක් හේතුවෙන් අධිකරණය මගින් නියම කරන ලද දඩ මුදල ගෙවා ගත නොහැකි හෝ ඇප ලබාදීමට කෙනෙකු ඉදිරිපත් නොවීම නිසා බන්ධනාගාරගතව සිටින පිරිස ඉතා විශාලයි. එවැනි සිරකරුවන්ට නිදහස ලබාදීමේ ක්‍රියාදාමය පැවත එන්නේ යටත් විජිත සමයේදී පටන්. 1947 සෝල්බරි ව්‍යවස්ථාව යටතේ එම බලය හිමිවූයේ අග්‍රාණ්ඩුකාරවරයාට. එසේ වුවත් එය ක්‍රියාත්මක වූයේ බ්‍රිතාන්‍ය රැජිනගේ නමින්. නාමික ජනාධිපතිවරයාටයි 1972 වර්ෂයේ දී මෙම විධායක බලය හිමිවී තිබුණෙ. වර්තමානයේ දී පවා බ්‍රිතාන්‍ය රැජිණට එවැනි බලයක් හිමි වුවත් ඇය විසින් එම බලය ක්‍රියාවට නඟනු ලබන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්වයි.
ව්‍යවස්ථාව මගින් බලතල ලබා දුන්නත් එම බලතල ක්‍රියාවට නැඟිය යුත්තේ පරීක්ෂාකාරීවයි. එසේම කල්පනාකාරීවයි. එසේ වුවත් නිර්දෝෂී පුද්ගලයෙකු අධිකරණය මගින් වරදකරුවෙකු බවට පත් කර ඇති අවස්ථාවකදී ජනාධිපතිවරයාගේ පොදු සමාව පිළිබඳ බලය වැදගත් වේ. ජනාධිපතිවරයාගේ පොදු සමාව සඳහා කොන්දේසි තිබෙනවාදැයි ගැටළු මතු වී තිබේ. එයට මඟ පෙන්වීම නීතියේ නිවැරදිව දක්වා නැහැ. දැනට පොදු සමාව ක්‍රියාවට නංවන්නේ දයාව හා අනුකම්පාව වැනි සාධක මත පදනම්ව. ඒ සඳහා කොන්දේසි ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයාට කිසිදු අවශ්‍යතාවයක්ද නැත. මේ නිසා ජනාධිපති වරයා විසින් තමන් සතු පොදු විධායක බලතල මෙන්ම මෙම බලයද ඉතාම කල්පනාකාරීව භාවිතා කිරීම ඉතාමත් වැදගත්.
by Sachini Sooriyaarachchi
Photo source : Internet
631 Views
Comments