ඉපැරණි ලෝක පුදුම හත - 2

- ඊජිප්තුවේ ගීසාහි මහා පිරමීඩය
ගීසාහි මහා පිරමීඩය පුරාණ ලෝකයේ පුදුම හතෙහි ලැයිස්තුවේ දැනට දක්නට ඉතිරිව ඇති එකම පුදුමයි. එය මානව ඉංජිනේරු විද්‍යාවේ හා ඉදිකිරීම්වල විශ්මයජනක සන්ධිස්ථානයක් වන අතර, එහි විශාලත්වය සහ සමමිත්කත්වය අදටත් විද්වතුන් අතර බොහෝ සංවාදයට පාත්‍ර වී ඇත.
මෙය ඊජිප්තුවේ හතරවන රාජවංශයේ පාරාවෝ කුෆු සඳහා ඉදි කරනු ලැබුවක් ලෙස සැලකෙන අතර එය ක්‍රි.පූ. 2560 දී පමණ සාදා නිම කර ඇත. එය ඊජිප්තුවේ වර්තමාන කයිරෝ නගරයේ පිහිටා ඇති ගීසා නේක්‍රෝපොලිස්හි පිහිටි විශාල පිරමිඩ 3 කින් යුතු සංකීර්ණයක විශාලතම පිරමිඩයයි. එම සංකීර්ණයේ කුෆුගේ භාර්යාවන් සඳහා ඉදිකරන ලද තවත් කුඩා පිරමිඩ 3 ක්ද දක්නට ලැබේ.
අතීතයේදී එය අඩි 481 ක් පමණ උසින් පැවතෙන්නට ඇති බව විශ්වාස කරන අතර වර්තමානයේ එහි මුදුනට හානි වෙමින් පවතින් බැවින් අඩි 25 ක් පමණ උසක් අහිමිව ගොස් ඇත. එය භුමියේ අක්කර 13.1 ක පමණ ව්‍යාප්ත වී ඇත. පිරමීඩයේ ඇතුලත බරාඳ සහ කුටි වලින් සැදුම්ලත් අතර එහි පාරාවෝගේ මරණින් මතු ජීවිතයට අවශ්‍ය සියලු භාණ්ඩ තබා ඇතැයි සැලකේ.
මෙහි ඉදි කිරීම් කටයුතු නිම කිරීමට ආසන්න වශයෙන් වසර 20 ක් පමණ ගත වන්නට ඇතැයි සැලකේ. එය කවුරුන් විසින් කෙසේ ගොඩනඟා ඇත්තේද යන්න පිළිබඳව විද්වතුන් විසින් විවිධාකාරයේ මත ඉදීරිපත් කර ඇත. සමහර මතවලට අනුව එය වහල් ශ්‍රමය යොදගෙන ඉදි කර ඇති බව පැවසෙන අතර තවත් මතයක් වන්නේ නයිල් නිම්නය ගංවතුරට ගොදුරු වන කාලය තුල ගොවිපල වැඩ කිරීමට නොහැකි නිසා එම කාලය තුල ඊජිප්තුවරුන් විසින් ස්ව උත්සාහය දරා මෙය නිම කර ඇති බවයි. කෙසේ වෙතත් ඒ සඳහා විසි දහසක පමණ පිරිසක් වෙහෙසෙන්නට ඇතැයි සැලකේ.
මෙම පිරමීඩ ඉදිකර ඇත්තේ ගල් කුට්ටි වලින් වන අතර එම එක් කුට්ටියක බර ටොන් 2 ත් 15 ත් අතර අගයක් ගනී. එවැනි ගල් කුට්ටි මිලියන 2.3 ක් භාවිතා කර ඇති බවට ගණන් බලා තිබේ. පිරමීඩයේ උස වැඩි වන තරමට ආනත තල ඉදි කර ඒ දිගේ එම ගල් කුට්ටි ඇදගෙන ගොස් ඊලග මට්ටමේ ගල් තැන්පත් කර ඇත. මිට හාත්පසින්ම වෙනස් මතයක් ලෙස පිටසක්වල ජීවීන් පිරමීඩ සෑදූ බව තවත් සමහරෙක් විශ්වාස කරයි.
පුරාණ ලෝකයේ පුදුම හත ලැයිස්තුවේ ගීසාහි මහා පිරමීඩය තිබුනේ ඇයිද යන්න පුදුමයක් නොවේ. ඒ ගීසාහි මහා පිරමීඩය අදටත් මිනිස් බුද්ධිය හා ශක්තියට මැනවින් ලොවට විදහා පාමින් ඊජිප්තු කාන්තාරයේ ඉතා දර්ශනීය ලෙස නැඟී සිටින බැවිනි.
by Sajini Ishanthi
Photo Source: Internet
900 Views
Comments