කවුරුත් යන එන කොටුව දුම්රියපොල වගතුග

ශ්‍රී ලංකාවේ පුරවැසියන් වශයෙන් ඔබ අප සැම දෙනාම එක් වරක් හෝ ගොඩ වී ඇති ස්ථානයකි කොළඹ කොටුව දුම්රිය පොල. දිනකට දහස් සංඛ්‍යාත ජනතාවක් එහා මෙහා යන කොටුව දුම්රිය පොල තුලින් මහජනයාට ඉටුවන සේවාව මෙතෙකැයි කියා නිම කළ නොහැකි තරම්. කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිකරන ලද්දේ 1907 වර්ෂයේ දීය. එය වසර 113 පැරණි ඉතිහාසයකට හිමිකම් කියන බව ඔබ දන්නවාද. බ්‍රිතාන්‍ය පාලන සමයේ වික්ටෝරියානු ගෘහ නිර්මාණ සම්ප්‍රදායට අනුව මෙම මහා ගොඩනැඟිලි සංකීර්ණය නිමවා තිබේ. 1864 ලංකාවට දුම්රිය හඳුන්වා දෙන ලද අතර ප්‍රථමයෙන් උඩරට දුම්රිය මාර්ගය ඉදිවිය. ඒ අනුව ප්‍රධාන දුම්රිය නැවතුම ලෙස මරදාන දුම්රිය ස්ථානය ඉදිකරන ලදී.
මුහුදුබඩ දුම්රිය මාර්ගය ඉදිකිරීමෙන් අනතුරුව 1907දී කොටුව ප්‍රධාන දුම්රිය පොල ඉදිකරන ලදී. එවකට ඉතා සීමිත මගීන් සංඛ්‍යාවක් දුම්රියේ ගමන් කළ නමුත් ඉංග්‍රීසීන් වසර සීයක් ඉදිරිය ගැන සිතා කොටුව දුම්රිය ස්ථානය සැලසුම් කර තිබේ. දැනට ලක්ෂ තුනකට ආසන්න මගීන් ප්‍රමාණයක් දෛනිකව මෙම දුම්රිය පොළ හරහා ගමන් කරයි. අංගසම්පූර්ණ මගී සේවාවක් සැලසෙන පරිදි කාර්යාල විවේකාගාර සනීපාරක්ෂක සේවා ස්ථාන ස්ථාපිත කර තිබීම විශේෂත්වයකි. දුම්රිය වේදිකාවක සිට බලන ඔබ දකින දැවැන්ත යකඩ ආරුක්කු, පාලම්, සොපාන පන්ති සියල්ල එකල මෙම ගොඩනැගිල්ල සඳහාම බ්‍රිතාන්‍යයේ සිට නැව් මගින් ප්‍රවාහනය කර තිබේ. ශක්තිමත් ගොඩනැගිල්ලක් සඳහා ගෙනෙනු ලැබූ යකඩ ආරුක්කු වල තිබෙන කැටයම් මෝස්තර රටා කිසිදිනක ඔබේ අවධානයට යොමු වූවාද.
වේදිකා අතර මාරු වී යාමට තැනූ පාලම් වල දැවයෙන් නිම කරන ලද පියගැට පෙළ තවමත් ශක්තිමත්ව මහ පොළොව මෙන් දරා සිටි. එවකට බ්‍රිතාන්‍යයේ දුම්රිය ස්ථාන ඉදි කළ අන්දමින්ම යටත් විජිතවල ද දුම්රිය මාර්ග සහ දුම්රිය පොල ඉදිකරන්නට ඉංග්‍රීසින් කටයුතු කර ඇති අන්දම ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාව මැලේසියාව ආදී අනෙකුත් බ්‍රිතාන්‍ය යටත් වලද අපට දැකගත හැකියි. ඉංග්‍රීසියෙන් විසින් ශ්‍රී ලංකාවේ මහා දුම්රිය මාර්ග තැනුවෙ, වැව් අමුණු ප්‍රතිසංස්කරණය කළේ ශ්‍රී ලංකාවේ සම්පත් සූරාකනු පිණිස පමණක් යැයි ඇතැමුන් පවසයි. නමුත් ශ්‍රි ලංකාවට උරුම වී ඇති මෙවැනි නිර්මාණ දකින විට හැඟී යන්නේ එය එසේ ම නොවන්නට ඇති බවයි. එකල ඉංග්‍රීසීන් විසින් මෙවැනි නිර්මාණ නොකරන්නට අදවන විටත් අපට මෙවැනි ශක්තිමත් මෙන්ම ඵලදායි දුම්රිය පොළක් හිමි නොවන්නට පුළුවනි. එදා ඔවුන් සිදුකළ මෙම නිර්මාණය නිසාවෙන් අද දස දහස් ගණන් මිනිසුන් ප්රතිලාභ භුක්ති විඳි. එමනිසාවෙන් ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප විසින් සිදු කළ යුත්තේ ඉංග්‍රීසීන් විසින් අප හට උරුම කර දුන් මෙම වටිනා නිර්මාණය වඩාත් සුරක්ෂිතව ඉදිරි පරම්පරාවටත් දායාද කිරීමයි.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
780 Views
Comments