කාන්තා ඔබට විශ්‍රාම සැලසුමක් අත්‍යවශ්‍යද

වර්තමානයේ දී බොහෝ දෙනෙක් විශ්‍රාම වැටුපක් ලැබෙන රැකියාවක් ලබා ගැනීම සඳහා මහත් පරිශ්‍රමයක් දරයි. විශ්‍රාම වැටුප් වරප්‍රසාදය මෙතෙක් භුක්ති වින්දේ රජයේ රැකියාවක් කරන පුද්ගලයන් පමණක් වුවද මේ වනවිට කිසිදු භේදයක් නොමැතිව තම විශ්‍රාම දිවිය සැලසුම් කරගත හැකි ආකාරයේ නව වැඩපිළිවෙලක් නිර්මාණය වී තිබේ. විශ්‍රාම වැටුප් සංකල්පය මේ වන විට ලොව පුරා රටවල් බොහෝමයක ප්‍රචලිත වෙමින් පවතින සංකල්පයකි.
වියපත් වියේදී විවිධ අවශ්‍යතාවන් සඳහා අවශ්‍ය මුදල් කිසිවෙකුටත් කරදර නොකර ලබාගත හැකි ආකාරයේ මූල්‍යමය වශයෙන් නිදහස් වූ ජීවිතයක් ගත කිරීම සඳහා විශ්‍රාම සැලසුමක් තිබීම ඉතාමත් වැදගත්. මෙහිදි කාන්තාවන්ට ප්‍රමුඛතාවයක් හිමි වෙන බව ඔබ දන්නවාද. එසේ වී ඇත්තේ කාන්තාවන්ගේ ආයු කාලය පිරිමින්ට වඩා වර්තමානයේ දී වැඩිවීගෙන යමින් පවතින නිසාවෙනි. කාන්තාවකට ස්වාමියාගේ රැකවරණය නැති වූ කල දරුවන් ගෙන් යැපෙන්නේ නැතිව ඇයට සුපුරුදු ජීවන රටාව තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍ය කරන ආර්ථික ශක්තිය විශ්‍රාමයට කල්තියා සැලසූම් කිරීමෙන් ලබාගත හැකි යි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ විශාල ප්රශ්නයක්ව පවතින පියයුරු සහ ගැබ්ගෙල පිළිකා වැනි රෝගී තත්ත්වයන්, හෘදයාබාධ සහ ආඝාතය වැනි බෝ නොවන රෝග වැලඳීමේ වැඩි ප්‍රවණතාවක් වයසට යෑමත් සමගම ඇතිවිය හැකියි. එවැනි තත්ත්වයන් සඳහා මුහුණ දීමේ ශක්තිය විශ්‍රාමයට කලින් සැලසුම් කිරීමෙන් කාන්තාවකට ලබා ගත හැකිවීම විශේෂත්වයකි. සෑම කාන්තාවක්ම විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ගත කරන ජීවිතය පිළිබඳව බොහොමයක් සිහින සහ බලාපොරොත්තු ගොඩනගාගෙන ඇති නමුත් ඒ සියල්ලම යථාර්ථයක් බවට පත්කර ගැනීමට නම් යහපත් මූල්‍ය ස්ථාවරයක් ගොඩ නගා ගෙන තිබීම අත්‍යවශ්‍යයි. කාන්තාවකට අඩු වයසකදී විශ්‍රාම අරමුදල ක ආයෝජනය කළ හොත් ආයෝජනය කරන මුදලට සාපේක්ෂව ඉහළ ප්‍රතිලාභයක් සමස්ත පොලී අනුපාතික නිසා හිමිකර ගත හැකි වේ.
මේ නිසා තමන්ගේ මූල්‍ය හැකියාවට අනුව හැකි අඩුම වයසින් විශ්‍රාම සැලසුමක් ආරම්භ කිරීම වඩාත් ප්‍රායෝගිකයි. එවිට කාන්තාවන් වශයෙන් ඔබටත් ඔබගේ විශ්‍රාම දිවිය සතුටින් සහ සැනසීම ගත කිරීමට හැකියාවක් ලැබෙනු ඇත. වර්තමානයේදී බොහෝ රක්ෂණ සමාගම් විසින් විවිධාකාරයේ විශ්‍රාම සැලසුම් ඉදිරිපත් කරමින් පවතී. එවැනි විශ්‍රාම සැලසුම් වඩාත් පහසු ආකාරයට සහ විවිධ මාදිලියෙන් සකස් කර ඇති නිසාවෙන් ඔබට පහසු සහ වඩාත් ප්රතිලාභ ගෙන දෙන ආකාරයෙන් සැලසුමක් තෝරා ගැනීමටද අවස්ථාව සලසා දී ඇත. තවද රක්ෂණ සමාගම් විසින් ලබාදෙන ජීවිත රක්ෂනය කල්පිරිමෙන් විශ්‍රාම අරමුදල එකවර හෝ මාසික විශ්‍රාම ආදායමක් ලෙස ලබා ගැනීමේ හැකියාවක් ද වර්තමානයේ දී පවතී. කාන්තා ඔබගේ විශ්‍රාම දිවිය සඳහා සූදානම් වීමටත්, විශ්‍රාම ජීවිතය මනාව කෙදිනක හෝ සුව විඳීමටත් විශ්‍රාම සැලසුමක් වඩාත් වැදගත් බව දැන් ඔබට වැටහෙනවා ඇති.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
931 Views
Comments