තෙල් සංස්ථාවට දරාගත නොහැකි පාඩුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
26

තෙල් සංස්ථාවට දරාගත නොහැකි පාඩුවක්

තෙල් සංස්ථාවට දරාගත නොහැකි පාඩුවක්

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව දරාගත නොහැකි පාඩුවක් ලබමින් සිටින බව බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කළා.
 

පවතින තත්ත්වය හමුවේ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසටයි අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
 

ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල යළිත්වරක් ඉහළ දැමීමට ලංකා අයි.ඕ.සී සමාගම කටයුතු කළා.
 

එහිදී ලංකා අයි.ඕ.සී පෙට්‍රල් මිල රුපියල් 20 කින් ඉහළ දැමූණු අතර ඩීසල් මිල ඉහළ දැමුණේ රුපියල් 15 කින්.
 

නව අයි.ඕ.සී මිල ඉහළ නැංවීමට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 204 ක් වන අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 233 ක්.
 

අයි.ඕ.සී ඉන්ධන මිල ගණන් ඉහළ ගිය පසුබිමක දිවයිනේ බොහෝ අයි.ඕ.සී පිරවුම්හල් ආශ්‍රිතව හුදකලා ස්වභාවයක් දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් සඳහන් කළා.
 

එම ඉන්ධන පිරවුම්හල් වල සේවකයන් ද පැවසුවේ ජනතාව සිය පිරවුම්හල් වෙත පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි.
 

කෙසේ වෙතත්, සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ නැංවීම පිළිබඳව මෙතෙක් තීරණයකට එළඹ නැහැ.
 

බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි කියා සිටියේ ලංකා අයි.ඕ.සී සමාගම ඉන්ධන මිල ඉහළ දැමීම හමුවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන අලෙවියේ දී දරාගත නොහැකි පාඩුවක් ලබන බවයි.
 

මේ අතර, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ ඉන්ධන අර්බුදය හමුවේ පෞද්ගලික බස් රථ ගමන්වාර සියයට 50 කින් අඩු කර ධාවනය කිරීමට සිදුවනු ඇති බවයි.
 

කෙසේ වෙතත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,300 ක් අඩංගු නෞකාවක් අද දිනයේ දිවයිනට පැමිණ ඇති අතර හෙට (27) ඩීසල් නෞකාවක් ද පැමිණීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශය පැවසුවා.


මේ අතර ඇතැම් සංස්ථා ඉන්ධන පිරවුම්හල් ඉන්ධන නිකුත් කිරීමේදී තවදුරටත් සීමා පනවා ඇති බව වාර්තා වනවා.
 

මේ් සම්බන්ධයෙන් අප කළ විමසීමකදී බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ එය තාවකාලික බෙදාහැරීමේ ගැටලුවක් නිසා ඇති වූ තත්වයක් බැවින් එම තත්ත්වය කඩිනමින් විසඳීමට කටයුතු කරන බවයි.
 

එසේම සංස්ථා පිරවුම්හල් ඉන්ධන තොග සැඟවීමේ සිද්ධි සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවද බලශක්ති අමාත්‍යංශය සඳහන් කළා.
 

මේ අතර, ඉන්ධන නොමැතිව බලාගාර කිහිපයක් අක්‍රීයවීමෙන් ආරම්භ කෙරුණු දෛනික විදුලි කප්පාදු කාල සටහන මෙම සති අන්තය සඳහා සංශෝධනය කරනු ලැබූවා.
 

ඒ අනුව අද (26) සහ හෙට (27) රාත්‍රී කාලයේ විදුලිය කප්පාදුවක් සිදු නොකෙරෙන බවයි මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කලේ.
 

අද දිනයේ ඒ.බී.සී කලාප සහ සෙසු කලාප 8 සඳහා විදුලිය කප්පාදු කෙරුණද හෙට දිනයේ ඒ.බී.සී කලාපවලට පමණක් දිවා කාලයේ පැය 2යි 30ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනවා.

views

998 Views

Comments

arrow-up