පිහි ඇනුමකින් කෙළවර වූ ඉන්ධන පෝලිමේ කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
21

පිහි ඇනුමකින් කෙළවර වූ ඉන්ධන පෝලිමේ කතාව

පිහි ඇනුමකින් කෙළවර වූ ඉන්ධන පෝලිමේ කතාව

නිට්ටඹුව, හොරගොල්ල ඉන්ධන පිරවුම් හලේ පෙට්‍රල් පෝලිමේදී ඇති වූ බව කියන බහින් බස්වීමක් අවසානයේ සිදුවූ පිහි ඇනුමක් හේතුවෙන් බරපතල තුවාල ලබා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර සිටි 29 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇතැයි නිට්ටඹුව පොලීසිය කියයි.

 

එලෙස ජීවිතක්‍ෂයට පත්ව තිබෙන්නේ ධීවර කාර්මිකයෙකු වන දෙමටගොඩ පදිංචිව සිටි තුවාන් තාජුඩීන් නැමැති 29 හැවිරිදි තරුණයෙකි.

 

මියගිය තැනැත්තා යතුරුපැදියට පෙට්‍රල් ලබා ගැනීමට පෙට්‍රල් පෝලිමේ ඊයේ(20) රාත්‍රී 8.30ට පමණ සිටියදී පෝලිමෙන් පිටතට පැමිණි ත්‍රිරෝද රථයක රියදුරා සමඟ බහින්බස් වීමක් සිදුවී ඇති බවට මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇතැයි පොලීසිය කීවේය.

 

එම බහින් බස් වීමෙන් පසුව ත්‍රිරෝද රථ රියැදුරා ත්‍රිරෝද රථයද රැගෙන ගොස් පිරවුම්හල ආසන්නයේ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ නවතා ගෙන සිට ඇති බවත් මියගොස් ඇති තැනැත්තා පෙට්‍රල් ලබාගෙන පිටතට පැමිණීමත් සමඟ ඔහුට පිහියකින් ඇන පලා ගොස් ඇතැයි තොරතුරු ලැබී ඇති බවද පොලීසිය පැවසීය.

 

පිහි ඇනුම සිදුකොට පලා ගිය ත්‍රිරෝද රථ රියදුරා නිට්ටඹුවට යාබද ප්‍රදේශයක පදිංචිකරුවෙකු බවට තොරතුරු ලැබී ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යන බවද පොලීසිය සඳහන් කරයි.

views

696 Views

Comments

arrow-up