ඉන්ධන හිඟය නිම වන ලකුණු - හේතුව අගමැති පහදයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
05

ඉන්ධන හිඟය නිම වන ලකුණු - හේතුව අගමැති පහදයි

ඉන්ධන හිඟය නිම වන ලකුණු - හේතුව අගමැති පහදයි

ආනයනය සඳහා සැලසුම් කර තිබූ ඉන්ධන නෞකා එකවර පැමිණීම නිසා ඇති වූ අර්බුදය මේ වනවිට සමනය කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද ප්‍රකාශ කළා.

 

එහි සභාපති සුමිත් විජේසිංහ සඳහන් කළේ ඉදිරියේදී තවත් ඩීසල් ඇතුළු ඉන්ධන නෞකා කිහිපයක් පැමිණීමට නියමිත බවයි.

 

ඒ අනුව ඉදිරි දින කිහිපයේදී ඉන්ධන සංචිතවල කිසිදු අඩුවක් සිදුනොවන බව ද ඔහු සඳහන් කළා.

 

කෙසේ වෙතත්, ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව අද දිනයේදීත් දිගු පෝලිම් පැවති ආකාරයක් දක්නට ලැබුණා.

 

මේ අතර, ජා-ඇල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට ඉන්ධන රැගෙන ඒමත් සමග එහි පෝලිම්වල සිටි ජනතාව රතිඤ්ඤා දල්වා සිය සතුට පළ කළ බවයි වාර්තාකරු සඳහන් කළේ.

 

එමෙන්ම, ඉන්ධන රැගෙන යාමට පැමිණි ජනතාව කිරිබත්ගොඩ පිරවුම්හලක් අසල විරෝධයේ නිරත වීමත් සමග නුවරපාරේ රථවාහන තදබදයක් ද හට ගත්තා.

 

පවතින තත්ත්වයත් සමග බහාලුම් ප්‍රවාහනයට ද එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්.

 

තෝරා ගත් ඉන්ධන පිරවුම්හල් හරහා බහාලුම් ප්‍රවාහන රථවලට ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවුනහොත් ලබන සතියේ සිට දැඩි අර්බුදයක් ඇතිවිය හැකි බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල කියා සිටියා.

 

ඉන්ධන සම්බන්ධයෙන් දැනට ගැටලුවක් වාර්තා වී නැතත් කසල එකතු කිරීම සඳහා යොදා ගන්නා වාහනවලට ඉන්ධන ලබා ගැනීමේදී යම් ප්‍රමුඛතාවක් ලබාදීම සුදුසු බව බස්නාහිර පලාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂ නලින් මාන්නප්පෙරුම පැවසුවා.

 

පවතින තත්ත්වය හමුවේ මේ වනවිට ගෑස් මිලදී ගැනීම සඳහා ද ජනතාව දිගු පෝලිම්වල රැදී සිටිනවා.

 

කොළඹ අද පැවති වැඩසටහනකින් අනතුරුව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න කියා සිටියේ භාණ්ඩ මිල ඇතුළු වර්තමානයේ ඇති වී ඇති තත්ත්වයන් පිළිබඳව ලබන අඟහරුවාදා ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

 

මේ අතර, විදුලිබල නිෂ්පාදනය සඳහා දැනට ඩීසල් ලබාදීම සිදුකෙරෙන අතර කැළණිතිස්ස බලාගාරයට ඉන්ධන ලබාදීම හෙට සිට ක්‍රියාත්මක කළ හැකි බවයි සංස්ථාව සඳහන් කළේ.

 

විදුලිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟතාව පළ කර තිබෙනවා.

 

විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය දැවි තෙල් හා ඩීසල් අවශ්‍ය ප්‍රමාණයට ලබාදීමට සඳුදා සිට කටයුතු කරන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පැවසුවේ.

views

1596 Views

Comments

arrow-up