පෙම්වතිය හමුවෙන්න ගිහින් ජීවිතයෙන් වන්දි ගෙවූ සුසිත්ගේ ඥාතීන් කියන කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
09

පෙම්වතිය හමුවෙන්න ගිහින් ජීවිතයෙන් වන්දි ගෙවූ සුසිත්ගේ ඥාතීන් කියන කතාව

පෙම්වතිය හමුවෙන්න ගිහින් ජීවිතයෙන් වන්දි ගෙවූ සුසිත්ගේ ඥාතීන් කියන කතාව

රටම කළඹමින් දින 15ක් තිස්සේ පුවත් මැවූ කුලියාපිටිය කබලෑව ප්‍රදේශයේ අතුරුදන් සුසිත් ජයවංශගේ සිරුර මාදම්පේ, පණිරෙන්ඩාව රක්‍ෂිතයෙන් සොයාගැනුණ පුවත සමගින් තවදුරටත් බලාපොරොත්තු දල්වාගෙන සිටි සුසිත් ජයවංශගේ ඥාතීන් සහෝදරයන් ඇතුලු පිරිස බලාපොරොත්තු සුන්ව හැඬූ කඳුලින් පසුවෙති.



සිද්ධිය කන වැකුණ මොහොතේ පටන් එම නිවසට ඥාතීන් මෙන්ම සුසිත්ගේ යහලුවන් ආදි බොහෝ පිරිසක් රැස්වෙමින් සිටියහ. එතැන සිටි මියගොස් ඇති සුසිත් ජයවංශගේ නැන්දනිය වූ රූපා දමයන්ති මහත්මිය පැවසුවේ,



“පොඩිකාලෙ ඉඳලා මේ දරු දෙන්නා තනිවමයි හැදුනෙ. අපි මොනතරම් කිව්වත් අපේ ගෙදරක එන්න කියලා දෙන්න ස්වෝත්සාහයෙන් හැදී වැඩුනෙ. අපි නිතර බැලුවා. ඒත් ගෙවල් කුලියට ගනිමින් අයියයි මල්ලියි දෙන්නා හරිම ආදරයෙන් හිටියෙ. ඒ දෙන්නා වගේ එකමුතු දෙන්නෙක් මේ ගම්තුළානෙවත් නැතුව ඇති. මොන දේ කළත් මොනවාවත් ගණන් නොගෙන සින්දුවෙන් කල් ගෙවන්න එයා පුරුදුවෙලා හිටියා. අම්මා තාත්ත නැතිව හැදුන දරුවො කොහොමත් දඩබ්බරයි.

 

ඒත් මේ කථාව හිතාගන්නවත් බැහැ. ගෑණු ළමයෙක් එක්ක මොන විදිහෙ සම්බන්ධතාවක් තිබුණත් මෙහෙම අවසානයක් අපි අහලා නැහැ. මේක ගැන පුලුල් පරීක්‍ෂණයක් ඕනැ. මේවා කරපු උන්ට හොඳක් වෙන්නෙ නැහැ” යැයි සාප කරමින් පැවසීය.



එහිදී සුසිත්ගේ බාල සහෝදරයාගේ බිරිඳ වූ එස්. ශානිකා එරන්දි මහත්මියද පැවසූයේ මෙවැන්නකි.



“අතුරුදන් වූ මොහොතෙ පටන් අපේ නිවසේ හරිහැටි කෑමක්වත් නැහැ. සුසිත් අයියාගෙ මල්ලි මගෙ මහත්තයා සජිත් පොලිසියෙන් කියන වෙලාවල්වලට යන නිසා රැකියාවට ගියේ නැහැ. අපි හිතුවෙම ගෑණු ළමයෙකුගෙ සිද්ධියක් නිසා ඒක විසඳගෙන කොයි මොහොතේ හරි අයියාව ගෙනත් දාවි කියලා. ඒත් අපිට උදේ ආව ආරංචිය සිහිනයක් වගේ.

හලාවත පැත්තෙ කැලේක තිබිලා අයියගෙ මිනිය හම්බවුණා කිව්වම හිතාගන්නත් බැරිවුණා. ඒක ඇහුණ ගමන් අපේ මහත්තයයි අක්කයි ඒ අයියාමද කියලා අඳුනගන්න කැලේට ගියා පොලිසිය එක්ක.

පස්සෙ අපේ මහත්තයා අයියගෙ කරාබුවෙන් අඳුනගෙන තිබුණා. අපිට දකින්න ලැබුණා අපේ සුසිත් අයියාව ගහක් මුල මරලා දාල තිබුණ හැටි. අපි කියන්නෙ අපිට මේකට සාධාරණයක් ඕන. උපරිම දඬුවම් කරන්න ඕන වෙන දේකට නෙවෙයි. අපිට අපේ සුසී අයියා නැතිවුණා. මින් ඉදිරියටවත් අපේ රටේ මේවාගේ දේවල් වෙන එක නවතින්න ඕන.

ඇත්තටම ඒ කියන සහෝදරියට අපේ සුසී අයියාගෙන් අකටයුත්තක් වෙලා තිබුණනම් නීතියට භාරදෙන්න තිබුණා. එහෙම වුණානම් නීතිය ඉදිරියේ ඔප්පුවෙලා උසාවිය දඬුවමක් නියම කළා නම් අපි කවදාවත් මෙහෙම මානසිකව වැටෙන්නෙ නැහැ. මෙහෙම නීතිය අතට ගන්න කාටවත් බැහැනෙ. ඒ නිසා ගොඩක් අයගෙ සැකයක් තියෙන්නෙ ඒ කියන සිද්ධියට එහා ගිය මොකක් හෝ වෙන යම් කටයුත්තක් මෙතන ඇති කියලයි. මේ සමිබන්ධව දේශපාලනඥයෙක් ගැනත් කියවෙන්න අරං තියනවා. ඇත්තටම අපිටත් හිතෙනවා ඒ වගේ හයියක් නොවෙන්න මේවගේ පුංචි රටක මෙච්චර හරියක් කරන්න සිඟිති වගේ කෙනෙක්ට කරන්න බැහැ.



රැස්ව සිටි පිරිසද නොයෙකුත් මත දැරූවද දේශපාලන හා බලධරයන්ගේ සබඳතා ගැන ඉතා අප්‍රසාදයෙන් යුතුව කතාබස් කරනු දැකගත හැකිවිය.

 

ඒ අනුව සුසිත්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන ආකාරය හා ස්ථානය පිළිබඳව පශ්චාත් මරණ පරීක්‍ෂණ අවසන්ව අධිකරණයේ උපදෙස් ලැබෙන තෙක් තීරණය කළ නොහැකි බව ඥාතිීහු පවසති.



මේ වනවිට සුසිත්ගේ කුණුවූ මෘත ශරීරය හලාවත රෝහලේ පශ්චාත් පරීක්‍ෂාව වෙනුවෙන් තැන්පත් කර ඇති බව කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශකයින් කියති. එහෙත් මේ සිදුවීම් මාලාව පිළිබඳව ඔවුන් සිදු කරගෙන යනු ලබන පරීක්‍ෂණ යාවත්කාලීනව සිදුකරගන යන බව ඔවුන් පවසයි.



මුල සිටම පොලිසිය නොමග හැරීමට සැලසුම් සහගතව සියලු කටයුතු සිදුකර ඇති නිසා අදාළ පරීක්‍ෂණ සිදු කිරීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවන බවද විමර්ශකයෝ වැඩිදුරටත් පැවසූහ. මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 7කි.

 

ඒ අතර පෙදරේරුවන් දෙදෙනකුද, ප්‍රධාන සැකකරුගේ මව, පියා, ප්‍රධාන සැකකරු බවට සැක කරන පුද්ගලයකු, ඔහුගේ බිරිඳ සහ මස්සිනා බව කියන අයවළුන් අත්අඩංගුවට ගත් පිරිස අතර වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසීය.

 

කෙසේ වෙතත් ඝාතනයට ලක්වූ තරුණයා ප්‍රේම සම්බන්ධය පැවැත්වූ 18 හැවිරිදි තරුණිය ඇතුළු පවුලේ පිරිස ගැන මෙතෙක් කිසිදු තොරතුරක් දැන ගන්නට නැතැයිද හෙතෙම කීය. ඔවුන් මෙරටින් වෙනත් රටකට පලාගොස් ඇත්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවද ඒ මහතා වැඩිදුරටත් කීය.

views

233 Views

Comments

arrow-up